බහාලුම් 323 ගැන විමර්ශන කටයුතු මාස තුනක් තුළ අවසන් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් තීරණයක්

කොළඹ වරායෙන් බහාලුම් 323 ක් පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින්, එම විමර්ශන කටයුතු මාස තුනක් ඇතුළත අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමටත්, ඒ පිළිබඳ යෝජනා හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහාත් මෙම කාරක සභාව විසින් සෑම බදාදා දිනකම පස්වරු 2.00 ට රැස්වීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාරගේ සභාපතිත්වයෙන් 2026 ජනවාරි 21 දින මෙම කාරක සභාව පළමුවරට රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබෙන අතර, මෙම කාරක සභාව නැවත 2026 ජනවාරි 28 වැනි බදාදා පස්වරු 2.00 ට රැස්වීමට නියමිතයි.