දිට්වා ආපදාව හේතුවෙන් පුද්ගලයන් 173 ක් තවදුරටත් අතුරුදහන් – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

දිට්වා සුළි සුළඟත් සමඟ මෙරට තුළ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් තවදුරටත් පුද්ගලයන් 173 දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව, නුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 69 දෙනෙකු සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 38 දෙනෙකු අතුරුදන්ව සිටින අතර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 32 ක් අතුරුදන්ව සිටින බවයි සඳහන් වන්නේ.

ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 649 දෙනෙකු මිය ගොස් ඇති බවත්, ඉන් වැඩිම පිරිස නුවර දිස්ත්‍රික්කයේ වන අතර, එම සංඛ්‍යාව 243 ක් වන බවයි සඳහන් වන්නේ. 

මීට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 89 දෙනෙකු සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 81 දෙනෙකු ද මිය ගොස් තිබෙනවා.

සුරක්ෂා මධ්‍යස්ථාන 85 ක පුද්ගලයන් 6,680 දෙනෙකු තවදුරටත් රඳවා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.