හමාස් සංවිධානය වහාම අවි ආයුධ අත්නොහරින්නේ නම් ඔවුන්ට “දරුණු වන්දියක්” ගෙවීමට සිදුවනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.
ගාසා තීරයේ ක්‍රියාත්මක සාම සැලසුමේ දෙවන අදියර වෙත ගමන් කිරීමට නම් හමාස් සංවිධානය සිය අවි ආයුධ අත්හැරිය යුතු බවයි ට්‍රම්ප් මෙහිදී පවසා සිටියේ.
“ඔවුන්ට අවි බිම තැබීමට ලබා දෙන්නේ ඉතා කෙටි කාලයක් පමණයි. ඔවුන් එසේ නොකළහොත් එය ඔවුන්ට ඉතා භයානක වනු ඇති,” යැයි ජනාධිපතිවරයා පැවසුවා.
එමෙන්ම සිය බැලස්ටික් මිසයිල හෝ න්‍යෂ්ටික වැඩසටහන් යළි ආරම්භ කරන්නේ නම්, ඔවුන්ට එරෙහිව යළිත් දැවැන්ත ප්‍රහාර එල්ල කිරීමට ඇමරිකාවේ සහයෝගය ලබා දෙන බව ට්‍රම්ප් මෙහිදී ප්‍රකාශ කර සිටියේ.
පසුගිය ජූනි මාසයේදී එල්ල කළ ප්‍රහාරවලින් පසු ඉරානය සිය අවි බලය යළි ගොඩනගමින් සිටින බවට වාර්තා ලැබෙමින් පවතින බවයි ඔහු සඳහන් කළේ.
“අපි දන්නවා ඔවුන් කරන්නේ මොකක්ද කියලා. අපි බලාපොරොත්තු වෙනවා ඔවුන් එසේ නොකරනු ඇතැයි කියා. මොකද අපිට B-2 බෝම්බ හෙලන යානා සඳහා ඉන්ධන අපතේ යැවීමට අවශ්‍ය නැහැ,” යනුවෙන් ඔහු උපහාසාත්මකව පවසා සිටියා.
දැනට පවතින සටන් විරාමය තහවුරු කරමින් ගාසා තීරය ප්‍රතිසංස්කරණය කිරීම සහ එහි පාලනය සඳහා ජාත්‍යන්තර ආරක්ෂක බලකායක් (Inteational Stabilization Force) පිහිටුවීම පිළිබඳව නායකයන් දෙදෙනා සාකච්ඡා කළ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
මෙම හමුවේදී අගමැති නෙතන්යාහු විසින් ජනාධිපති ට්‍රම්ප් වෙත ඊශ්‍රායලයේ ඉහළම සිවිල් සම්මානය වන “ඊශ්‍රායල ත්‍යාගය” (Israel Prize) පිරිනමන බව නිවේදනය කළ අතර මෙය ඊශ්‍රායල ජාතිකයෙකු නොවන අයෙකුට පිරිනමන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.








