උතුර, මඩකලපුව හා පුත්තලම මාර්ග ජනවාරි 01 සිට දුම්රිය ධාවනයට විවෘතයි

උතුර, මඩකලපුව හා පුත්තලම දුම්රිය මාර්ග ජනවාරි 01 සිට දුම්රිය ධාවනයට සම්පූර්ණයෙන්ම විවෘත කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ප්‍රකාශ කළේය.

ත්‍රිකුණාමලය දුම්රිය මාර්ගය ද අද (19) මුළුමනින්ම විවෘත කරන බවත් හෙට (20) වැනිදා සිට බදුල්ල සිට අඹේවෙල දක්වා දුම්රිය මාර්ගය විවෘත කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

තාවකාලික මාර්ගයක් නිර්මාණය කරලා වත්තේගම සිර වී තිබෙන දුම්රිය ජනවාරි 15 වැනිදා වන විට නිදහස් කරගන්නා බව ද නියෝජ්‍ය ඇමැතිවරයා කීය. එමෙන්ම ලබන වසරේ පෙබරවාරි 01 වැනිදා වන විට තලෙයිමන්නාරම මාර්ගය සම්පූර්ණයෙන් විවෘත කිරීමට ඉදිරි සැලසුම් සකස්කර ඇතැයි ද ඔහු පැවසීය.

ආපදා තත්ත්වය හේතුවෙන් සමස්තයක් ලෙස ගත්විට හානියට පත් මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් බිලියන 190ක් පමණ වැය වනු ඇති බවට ගණන් බලා ඇත. මේ අනුව මාර්ග පද්ධතියට සිදුව ඇති හානිය පිළිබඳ වැටහෙනු ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ව්‍යසනයෙන් පසු රටේ වත්මන් තත්ත්වය පිළිබඳ කල්තැබීමේ විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. ඒ හා බී ගණයේ මාර්ග 572ක් ආපදා තත්ත්වයෙන් විනාශ වූ අතර දුර අනුව ගත්විට එය කිලෝමීටර් 1,450ක් පමණ බව ද පෙන්වා දුන්නේය.

එයින් කිලෝමීටර් 723ක් මධ්‍යම පළාතට අයත් අතර මෙම සියලුම මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් මිලියන 68,000කට අධික මුදලක් වැය වන බව ද අමාත්‍යවරයා අනාවරණය කළේය. ඒ අනුව මධ්‍යම පළාතේ හානියට පත් මාර්ග පද්ධතිය පමණක් ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් මිලියන 52,000ක් පමණ වැය වන බවත් මේ අනුව මාර්ග පද්ධතිය සඳහා පමණක් සිදුව ඇති හානිය සිතාගත හැකි වනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

විවාදය සඳහා අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

“දෙපාර්තමේන්තු අතරින් වැඩිම හානිය සිදු වුණේ දුම්රිය දෙපාර්තමේන්තුවට. හානියෙන් පසු මාර්ග පද්ධතියෙ තුනෙන් එකක් පමණයි ධාවනය කිරීමට හැකියාව තියෙන්නෙ. දුම්රිය මාර්ග නායයෑම් හා ගල් පෙරළීම් 91ක් වාර්තා වුණා. දුම්රිය පාදම කඩා ගෙන යෑම් 73ක් වාර්තා වුණා. බෝක්කු සහ පාලම් 38ක් සම්පූර්ණයෙන් විනාශ වුණා. ගස් කඩා වැටීම් 179ක් සිදු වුණා. සුළු වශයෙන් පාදම විනාශ වුණු තැන් 177ක් තිබෙනවා. දුම්රිය ස්ථාන 27කට හානි වෙලා තිබෙනවා. බලන – කඩුගන්නාව ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තිබෙනවා. ගම්පොළ – නාවලපිටිය මාර්ගයත් වත්තේගම – උකුවෙල මාර්ගයත් කොටගල – අඹේවෙල මාර්ගයත් ඒ ආකාරයෙන්ම විනාශයි. මෙම ස්ථාන හතර වැඩි වියදමක් දරලා ප්‍රතිනිර්මාණය කරන්න වෙලා තිබෙනවා.

දිට්වා සුළි කුණාටුව මඟින් මාර්ග පද්ධතියට විශාල හානියක් සිදු වුණා. ඒ හා බී ගණයේ මාර්ග 572ක් විනාශයට පත්ව තිබෙනවා. දුර ගත්විට කිලෝමීටර් 1,450ක් පමණ විනාශයට පත්ව තිබෙනවා. එයින් කිලෝමීටර් 723ක් මධ්‍යම පළාතට අයත් වෙනවා. මේ සියලුම මාර්ග ප්‍රතිසංස්කරණයට දළ වශයෙන් රුපියල් මිලියන 68,000ට වැඩි මුදලක් වැය වෙනවා. ඒ අනුව මිලියන 52,000ක් පමණ මධ්‍යම පළාතට වැය වෙනවා. ඒ අනුව මෙහි හානිය අපිට සිතාගන්න පුළුවන්.

ප්‍රධාන වශයෙන් පාලම් 40ක් පමණ විනාශයට පත්ව තිබෙනවා. 18ක් ප්‍රධාන පාලම්. ඒවා නැවත ගොඩනඟන්න රුපියල් බිලියන 6ට වැඩි වියදමක් දරන්න සිදු වෙනවා. ඒ අනුව මාර්ග පද්ධතියට සිදුවූ හානිය රුපියල් බිලියන 75ක් පමණ වෙනවා. කෙසේ වෙතත් සමස්තයක් ලෙස ගත්විට මාර්ග පද්ධතියේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් දළ වශයෙන් රුපියල් බිලියන 190ක් පමණ වැය වෙනවා.”