රන්මාල කොල්ල කෑ අයියා මලෝ අත්අඩංගුවට

මහමග ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකුගේ ගෙල බැඳි රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වටිනාකමකින් යුත් රන්මාල කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, කිරිබේරිය, මූණවල්වත්ත පාරේ පදිංචි, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අවුරුදු 36 සහ 26 හැවිරිදි සහෝදරයන් දෙදෙනෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

එම සැකකරුවන් දෙදෙනා මීට පෙර මත්ද්‍රව්‍ය චෝදනාවකට බන්ධනාගාරගතව සිටියදී, ඔවුන්ට ඇප තැබීම සඳහා ඔවුන්ගේ මව විසින් ඉඩම උගස්කර රුපියල් ලක්ෂයක මුදලක් ලබාගෙන තිබෙනවා.

එහිදී එම මුදල් ගෙවා ගැනීමට නොහැකිව ඉඩම සින්න වීමේ අවදානමක් ඇති වූ බැවින් එය බේරා ගැනීමට මෙලෙස රන්මාල කොල්ලකෑමට තීරණය කළ බවට සැකකරුවන් ප්‍රකාශ කර ඇතැයි පොලිසිය සඳහන් කළා.

සැකකරුවන් දෙදෙනා විසින් අලුබෝමුල්ල ප්‍රදේශයේ කාන්තාවකගේ පවුම් කාලක් පමණ වන රන් මාලයක් සහ පානදුර ප්‍රදේශයේ කාන්තාවකගේ පවුම් තුන්කාලක් පමණ වටිනා මාලයක් හා පෙන්ඩනයක් මෙලෙස කොල්ලකා තිබෙනවා.

ඒ අනුව, කොල්ලකන ලද මෙම රන් භාණ්ඩ රුපියල් පනස් නව දහසකට (රු. 59,000) සහ රුපියල් එක් ලක්ෂ තිස් නව දහසකට (රු. 139,000) උකස්කර තිබියදී සොයා ගැනීමට පොලිසිය සමත්ව ඇති අතර, සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.