හිටපු පොලිස්පති හා CID හිටපු ලොක්කාගෙන් CIDය ප්‍රශ්න කරයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සයින්දුමරුදුහි සිදුවූ පිපුරුමෙන් මියගිය අය අතර පුලස්තිනි රාජේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් නොසිටි බව ඩී.එන්.ඒ.පරීක්ෂණ දෙකකින්ම තහවුරු වී තිබියදී තුන් වැනි ඩී.එන්.ඒ. පරීක්ෂාවක් කිරීමට නැවත මළ සිරුරු ගොඩගැනීමට මුල්වූ හේතුව ඇතුළු සුවිශේෂි කරුණු රැසක් සම්බන්ධයෙන් එවකට හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍මේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහත්වරුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍මේන්තුව විසින් පෙ‍රේදා (10) ප්‍රකාශ ගැනීමේදී ඔහු පවසා ඇත්තේ, සාරා ජෙස්මින් නමැති අය මියගොස් සිටී ද ජීවත්ව සිටී ද යන්න පිළිබඳව ආරක්ෂක මණ්ඩලයේදී දිගින් දිගටම විවිධ කරුණු මතු වූ බැවින් ඇය ජීවත්ව සිටින්නේදැයි සොයා විමර්ශන පවත්වන ලෙස තමා අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍මේන්තුවට උප‍දෙස් ලබාදුන් බවය.

මළ සිරුරු නැවත ගොඩගෙන තුන් වැනි ඩී.එන්.ඒ. පරීක්ෂාවක් සිදු කිරීමට මුල්වූ කරුණු සහ තවත් සුවිශේෂි කරුණු රැසක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගෙන් ඊයේ (11) දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

අවස්ථා දෙකකදීම කළ ඩී.එන්.ඒ. පරීක්ෂණවලින් සාරා ජෙස්මින් මියගොස් නැති බව තහවුරුවී තිබියදී තෙවැනි ඩී.එන්.ඒ. පරීක්ෂාවකින් සාජා ජෙස්මින් මියගොස් ඇතැයි තහවුරු කිරීම මේ වන විට ප්‍රශ්නගතව ඇත. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුළුල් විමර්ශනයක් සිදු කරයි. ඒ අනුව සිවු වැනි ඩී.එන්.ඒ. පරීක්ෂණයක් පවා ඉදිරියේදි සිදු වනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.

සාරා ජෙස්මින් මියගොස් නැති බව ඩී.එන්.ඒ. වාර්තා දෙකක් පවතී. එම වාර්තාවන්ට අභියෝග කරමින් කළ තෙවැනි ඩී.එන්.ඒ. වාර්තාවෙන් සාරා ජෙස්මින් මියගොස් ඇති බව සඳහන් කෙරිණි.

එසේ වුවත් මේ වන විට සිදු කරන විමර්ශන ඔස්සේ අනාවරණය වෙමින් ඇති තොරතුරුවලට අනුව එම ඩී.එන්.ඒ. වාර්තාව සම්බන්ධයෙන් පවා මතභේදාත්මක තත්ත්ත්වයක් ඇතිවී තිබෙන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ද පාර්ලිමේන්තුවේදී ඉකුත් ජුනි 09 වැනිදා කරුණු අනාවරණය කළේය.