රට පුරා ආපදා – මරණ 69 දක්වා ඉහළට – 34ක් අතුරුදන්

මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදා මරණ 69ක් වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එමෙන්ම ආපදා හේතුවෙන් පුද්ගලයින් 34 දෙනෙකු අතුරුදන්ව ඇති අතර, පවුල් 61,175කට අයත් පුද්ගලයින් 21,9282ක් ආපදාවට ලක්ව ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

පීඩාවට පත්වූ පවුල් 5,890කට අයත් පුද්ගලයින් 18,443 දෙනෙකු තාවකාලික සුරක්ෂිත මධ්‍යස්ථාන 266ක් වෙත යොමු කර ඇති මේ වනවිටත් විපතට පත්වූවන් සෙවීමේ කටයුතු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව විසින් සිදුකරනු ලබයි.

ගංවතුර අධි අවදානම් අනතුරු ඇඟවීම් කැලණි ගඟ සඳහා කලු ගඟ, යාන් ඔය, මහවැලි ගඟ, ගඟ දැදුරු ඔය, මහ ඔය, කලා ඔය, අත්තනුගලු ඔය සහ මැණික් ගඟ, මල්වතු ඔය ආශ්‍රිතව නිකුත් කර ඇති අතර, එහි ජල මට්ටම් ඉහළ යෑම නිසා මෙම ස්ථානයන්හි පහත් බිමිවල සිටින ජනතාව ඉවත් වීම සඳහ‍ා නිවේදන නිකුත් කර ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

සුරක්ෂිත හෝ වඩාත් ආරක්ෂිත ස්ථානවලට ගමන් කරන ලෙසත් රාත්‍රී කාලයේ ජලමට්ටම් ඉහළ යා හැකි බැවින් රාත්‍රියේ ගමන් බිමන් හා ගංවතුර නැරඹීමට යෑමෙන් වළකින ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.