උතුරු නැඟෙනහිර ඇතුළු රට පුරා මාර්ග සංවර්ධනය සඳහා අය-වැයෙන් විශාල මුදලක් වෙන්කර ඇති බව සභානායක, ප්‍රවාහන, මහාමාර්ග, නාගරික සංවර්ධන ඇමැති බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) පැවසීය.
විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
ඇමැතිවරයා මෙසේ ද පැවසුවේය.
“ස්ත්‍රී ප්‍රචණ්ඩත්වයට විරුද්ධව අද විශේෂ දිනයක් වෙලා තිබෙනවා. අද පාර්ලිමේන්තු මන්ත්‍රිනියන් හැමෝම වගේ තැඹිලි පාටින් ඇඳගෙන ඇවිත්. පිරිමි කවුරුත් ඒ පාට ඇඳගෙන ඇවිත් නැහැ. ඒ නිසා අපි ඉබේම වැරදිකරුවන් වෙලා වගේ. දරුවන්ට කාන්තාවන්ට වැඩිම හිංසනයන්ට මුහුණ දෙන්න වෙනවා. එය විශාල ගැටලුවක්.
ප්‍රවාහනය තුළ කාන්තාවන්ට දරුවන්ට සිදු වන හිංසා වැඩි වෙලා තිබෙනවා. වැදගත් විදියට පොළොවේ පය ගහලා ප්‍රශ්න ඉදිරිපත් කිරීම ගැන මරික්කාර් මන්ත්‍රීවරයාට මම ස්තුතිවන්ත වෙනවා.
ප්‍රවාහන, මහාමාර්ග, නාගරික සංවර්ධන සමස්ත අමාත්‍යාංශය මේ වසරේ දෙසැම්බර් 31 වන විට 82%ත් 88%ත් අතර ප්‍රගතියට එන්න පුළුවන් වෙයි කියලා හිතනවා. දැනට අය-වැය යෝජනා 29ක් යටතේ 2026 වසර සඳහා අමතරව රුපියල් බිලියන 52ක් ලබාදී තිබෙනවා. මේවා ඇස්තමේන්තු කරලා ජනවාරි 01 වැනිදාට ගියර් මාරු කිරීම තමයි එක විසඳුමක්.
අධිවේගය 90%ක් අවසන් කරන ඇස්තමේන්තු හදන්න අපේක්ෂා කරනවා. දෙසැම්බර් 31 වන විට සමස්ත අමාත්‍යාංශයේම මූලික ඇස්තමේන්තු 70%ක් හදා අවසන් කිරීමට පියවර ගන්නවා. අපට වැඩිපුර මුදල් තිබෙනවා. ඒ හා සමානව වියදම් කිරීමට සුදුසු නිලධාරීන් තෝරාගත යුතුයි. අමාත්‍යංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තමයි ගැටලුව.
පසුගිය වසර තුළ දුම්රිය දෙපාර්තමේන්තුවට 1005ක්, ගමනාගමන මණ්ඩලයට 762ක්, මෝටර් රථ දෙපාර්තමේන්තුවට 28ක්, ජාතික ගමනාගමන කොමිෂන් සභාවට 14ක්, මාර්ග සංවර්ධන අධිකාරියට 1503ක්, නාගරික සංවර්ධන අධිකාරියට 144ක්, ඉඩම් සංවර්ධන කිරීමේ ආයතනයට 72ක්, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියට 48ක් ලෙස නිලධාරීන් 3,975ක් වසරකට අඩු කාලයේදී බඳවාගෙන තිබෙනවා. ඉදිරියටත් බඳවා ගැනීම් සිදු කරනවා.
ග්‍රාමීය මාර්ග හැදීමට බිලියන 22.29ක ඇස්තමේන්තු අනුමත කර තිබෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගය නැවත ආරම්භ කිරීමට හැකිවීම අපි ලැබූ ජයග්‍රහණයක්. රුවන්පුර, දඹුල්ල අධිවේගී මාර්ගවල ඉඩම් අත්පත් කරගැනීමට මුදල් වෙන්කර තිබෙනවා.
උතුරු නැඟෙනහිර පළාත් වෙනුවෙන් විශාල මුදලක් වෙන් කර තිබෙනවා. කෝටි 380ක් වතුකරයේ පාරවල් හැදීමට පමණක් වෙන්කර තිබෙනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට බිලියන හයහමාරක් ලබාදී තිබෙනවා. මෙට්‍රෝ සේවය ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. කොළඹ නගරයේ ප්‍රධාන මහල් නිවාස 25ක් තිබෙනවා. ඔවුන්ට ලබාදිය හැකි පහසුකම් හැකි ඉක්මනින් දෙනවා. ප්‍රධාන නගර 10ක් සැලසුම් කරලා ගොඩනැඟීමට පියවර ගන්නවා. ලංකාවේ නගර 100ක්වත් දියුණු කරන්න අපි කටයුතු කරනවා.”








