චීන-ඇමරිකානු නායකයින් දුරකථන සංවාදයක – තායිවාන ගැටලුව ගැනත් අවධානයට

චීන හා ඇමරිකානු ජනාධිපතිවරු දුරකථන සංවාදයක නිරත වෙති. චීන ජනාධිපති ෂී ජින් පිං ඊයේ(24) රාත්‍රී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග දුරකථන සංවාදයකට එක් විය.

ඉකුත් මාසයේ ඇමරිකානු ජනාධිපතිවරයා සමග දකුණු කොරියාවේදී පැවැත්වූ සාකච්ඡා යළි සිහිපත් කරමින් චීන ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ එම සාකච්ඡාවෙන් පසු ද්විපාර්ශ්වික සබඳතා ස්ථාවර අන්දමින් පවත්වාගෙන යන බවයි.

මෙම යහපත් තත්ත්වය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් වඩාත් සාධනීය ප්‍රගතියක් අත්කරගැනීමට චීනය අපේක්ෂා කරන බව චීන ජනාධිපතිවරයා සඳහන් කරයි.

චීනයේ තායිවානය සම්බන්ධයෙන් ද ෂී ජින් පිං ජනාධිපතිවරයා එහිදී අදහස් දැක්විය. හෙතෙම තායිවානය පිළිබඳ චීනයේ ස්ථාවරය ඇමරිකානු ජනාධිපතිවරයා වෙත පහදා දෙමින් අවධාරණය කළේ තායිවානය ජපාන ආක්‍රමණයෙන් නිදහස් කර ආපසු චීනයට එක්වීම, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ස්ථාපිත වූ ගෝලීය පටිපාටියේ වැදගත් කොටසක් බවයි. දෙවැනි ලෝක යුද්ධ‍යේදී ෆැසිස්ට්වාදය හා රණවාදයට එරෙහිව සටන් කළ චීනය හා ඇමරිකාව වර්තමානයේ එම යුද ජයග්‍රහණය පොදුවේ රැක ගත යුතු බව ද චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

ෂී ජින් පිං ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික සම්බන්ධතා පිළිබඳ දැක්වූ අදහස් තමන් සම්පූර්ණයෙන් පිළිගන්නා බව ඇමරිකානු ජනාධිපතිවරයා එහිදී පැවසීය. දෙවැනි ලෝක යුද සමයේ දී චීනය ඉටු කළ වැදගත් මෙහෙවර අගය කරන බවත්, තායිවාන ප්‍රශ්නය චීනයට වැදගත් බව ඇමරිකාවට මැනවින් අවබෝධ වී ඇති බවත්,ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ද මෙහිදී නායක දෙපළ අදහස් හුවමාරු කර ගත්හ.