ශ්‍රී ලංකාව සඳහා වන ජාතික ඵලදායිතා ඉදිරි සැලැස්ම අගමැතිණිය වෙත

කොළඹදී පැවති ආසියානු ඵලදායිතා සංවිධානය සහ කොරියානු සංවර්ධන ආයතනය විසින් ඉදිරිපත් කරනු ලබන ශ්‍රී ලංකාව සඳහා වන ජාතික ඵලදායිතා ඉදිරි සැලැස්ම සහ ඵලදායිතා විශේෂඥයින් සඳහා වන ප්‍රතීතන සහතිකය ප්‍රකාශයට පත් කිරීමට සමගාමීව, නොවැම්බර් 20 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත ශ්‍රී ලංකාව සඳහා වන ජාතික ඵලදායිතා ඉදිරි සැලැස්ම පිළිගන්වන ලදී.

මෙම සැලැස්ම මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන කර්මාන්ත ක්ෂේත්‍රයන් වන, කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ ඇඟලුම් කර්මාන්තය මුහුණ දෙන අභියෝග සහ ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කරන අතරම, ශ්‍රී ලංකාවේ ජාතික ඵලදායිතාව වැඩිදියුණු කිරීම සඳහා නිර්දේශ ලබා දේ. එමෙන්ම මෙම සැලැස්ම මගින් කර්මාන්තවල ඵලදායිතාව වැඩි දියුණු කිරීම මෙන්ම කෙටි කාලීනව පෝෂණය කළ හැකි නව කර්මාන්ත සංවර්ධනයට සහාය වන ප්‍රතිපත්ති යෝජනා ද ඉදිරිපත් කෙරේ.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය ආසියානු ඵලදායිතා සංවිධානයේ අඛණ්ඩ සහයෝගය අගය කළ අතර, දේශීය වෙළඳපොළ ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම ගෝලීය වේදිකාව සඳහා උපායමාර්ගික පිවිසුම් මාර්ග හඳුනා ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කළාය.

එමෙන්ම නැගී එන උපායමාර්ගික ප්‍රවේශ මාර්ගයක් ලෙස, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) සඳහා අවධානය යොමු කළ යුතු බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාමේදී එහි පුළුල් කාර්යභාරය පිළිබඳවද පැහැදිලි කළා ය.

මෙම අවස්ථාවට කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍යාංශයේ ලේකම් ජේ. එම්. තිලකා ජයසුන්දර මහත්මිය, ආසියානු ඵලදායිතා සංවිධානයේ මහලේකම් ආචාර්ය Indra Pradana Singawinata; ආසියානු ඵලදායිතා සංවිධානයේ ඉරාන අංශයේ ප්‍රධානී Arsyoni Buana මහතා සහ කොරියානු සංවර්ධන ආයතනයේ නියෝජිතයින් පිරිසක් ද සහභාගීවූහ.