දෙමළ, මුස්ලිම් පක්ෂ නායකයින්ට ජනපතිගෙන් ඇරයුමක්

සියලු ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවලට ගරු කරමින් මෙරට සෑම පුරවැසියෙකුටම නිදහසේ ජීවත් වීමේ අවස්ථාව ලබා දිය යුතු බවත්, රට කවර හෝ ජාතිවාදී උගුලකට හසුවීමට ඉඩ නොතබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය ලබා දෙන ලෙස සියලුදෙනාට ආරාධනා කළ ජනාධිපතිවරයා, මේ බව සඳහන් කළේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ‘ශ්‍රී ලාංකික දිනය’ වැඩසටහන් පිළිබඳව විපක්ෂයේ දෙමළ, මුස්ලිම් පක්ෂ නායකයින් සහ නියෝජිතයන් දැනුවත් කිරීම වෙනුවෙන් අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවට එක් වෙමින්.

ප්‍රජාවන් අතර අවබෝධය වර්ධනය කරමින් සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ දැක්ම පෙරදැරිව සියලු ජන කොටස් එක් කර ගනිමින් මෙම ‘ශ්‍රී ලාංකික දිනය’ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සංවිධානය කෙරෙන මෙම ජාතික වැඩසටහනේ සංවිධාන කටයුතු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.