සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් අද කොළඹට

2026 රජයේ සංවර්ධන වැඩසටහන් සහ ප්‍රජා ශක්ති ග්‍රාමීය සංවර්ධන ප්‍රවේශය පිළිබඳව දැනුවත් කිරීමට මෙරට සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් අද කොළඹට කැඳවා තිබෙනවා.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායකගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ අරලියගහ මන්දිරයේදීයි.

එහිදී ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම සඳහා රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක ප්‍රජා ශක්ති වැඩසටහන බිම් මට්ටමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීමට නියමිතයි.

එමෙන්ම, රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ අවශ්‍යතාව, සංවර්ධනය සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ භූමිකාව ප්‍රජා ශක්ති වැඩසටහනේ ඩිජිටල් පද්ධති සහ අවකාශය පිළිබඳ හඳුන්වා දීම මෙන්ම ඩිජිටල් ආර්ථික වැඩසටහන තුළ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ භූමිකාව මෙහිදී සාකච්ඡාවට බඳුන් වනවා.

ඊට අමතරව, අල්ලස් සහ දූෂණ පිටුදැකීම මෙන්ම විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ රටම එකට ජාතික මෙහෙයුම සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සක්‍රිය දායකත්වය ලබාගැනීම පිළිබඳවත් එහිදී අවධානය යොමුකෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.