පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන නිවැරදි දිශානතියකට යොමුකිරීම වෙනුවෙන් කතෝලික සභාව කළ ඉල්ලීමට ජනාධිපතිවරයාගෙන් ලැබුණු ධනාත්මක ප්‍රතිචාර බෙහෙවින් අගය කරන බව රොහාන් ද සිල්වා පියතුමා පැවසූහ.
පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීම මුල්කරගෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කාදිනල් හිමියන් අතර පෙරේදා (19) පැවති හමුවේදී සාධනීය කරුණු ගණනාවක් සම්බන්ධව ජනාධිපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාර ලැබුණු බව රොහාන් ද සිල්වා පියතුමා පැවසූහ.
එම හමුව පිළිබඳ මාධ්‍යයට අදහස් දැක් වූ රොහාන් ද සිල්වා පියතුමා :
“කාදිනල්තුමා ප්රමුඛ පියතුමන්ලා ඇතුළු නීතිඥවරුන් කණ්ඩායමක් පෙරේදා ජනාධිපතිතුමා සහ ඇමැතිවරුන් ප්රමුඛ නිලධාරීන් කණ්ඩායමක් මුණගැසුණා. මෙම හමුවේ ප්‍රධාන අරමුණ වුණේ, පාස්කු ඉරුදින සිදුවූ ව්‍යසනයට යුක්තිය හොයාගෙන යන ගමන රජයේ ප්රමුඛ වගකීමක් බව පෙන්වා දීමටයි.
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන හරි දිශානතියකට රැගෙන යමින් මේ විමර්ශනවලින් හෙළි වන කරුණු ඔස්සේ චෝදනා පත්‍ර ගොනු කරමින් මේ ව්‍යසනයට සම්බන්ධ වූ හැම කෙනෙක්ම නීතිය හමුවට පමුණුවන්න කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටියා. ප්‍රමාද වෙන තරමට මේ පිළිබඳ තිබෙන උනන්දුව රජයටත් නැති වෙන්න පුළුවන්.
මේ කාරණාව, ප්රමුඛ කාරණාවක් ලෙස භාරගනිමින් නීතිපති දෙපාර්තමේන්තුවේ හෝ ඊට සම්බන්ධ කරපු අභිචෝදක කාර්යාලයකදී මේ විමර්ශන කටයුතු මෙහෙයවමින් මේ අධි චෝදනාපත්‍ර ගොනු කරමින් එය නඩු විභාගයක් කරා රැගෙන යෑම කඩිනම් කරන්න කියලාත් අපි ඉල්ලා සිටියා. ඒ සම්බන්ධයෙන් බොහොම ධනාත්මක ප්‍රතිචාර ලබාදීම සම්බන්ධව අප ඉතාම සතුටු වෙනවා. ඒ වගේම මේ සම්බන්ධව කටයුතු කරන්නට විශේෂ කමිටුවක් නම්කරන්නටත් ජනාධිපතිතුමා ඉදිරිපත් වුණා. ඒ කමිටුවත් කාදිනල්තුමා ප්රමුඛ උන්වහන්සේ නම් කරන කමිටුවත් අතර නිරන්තර හමුවීමක් තුළ, මේ වන විට විමර්ශන හා වැඩ කටයුතු මේ යුක්තිය සොයාගෙන යන ගමන තවදුරටත් තීව්ර කරන්නට අවශ්‍ය පසුබිම සාදා දෙන්නට ජනාධිපතිතුමා ඒ අවස්ථාවේදී පොරොන්දු වුණා. ඒ ගැන අපි ස්තුතිවන්ත වෙනවා.
ඒ වගේම ජනාධිපති කොමිෂන් වාර්තාව ජනගත කරන්න කියලා අපි එතුමාගෙන් ඉල්ලා සිටියා. එය වර්තමානයේ තිබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ. ඔවුන්ගේ රෙකමදාරුව මත, ඔවුන්ගේ පරිශීලනයෙන් මත ගන්නාවූ තීරණය තුළ එය ජනගත කරන්නට හැකි තරම් ඉක්මනට උත්සාහ කරනවා කියලා ජනාධිපතිතුමා අපට පොරොන්දු වුණා








