ඖෂධ වර්ග 500 කට උපරිම සිල්ලර මිල ක්‍රියාත්මක වන්නේද යන්න සොයා විමර්ශන ආරම්භ කෙරේ

උපරිම සිල්ලර මිල නියම කළ ඖෂධ වර්ග එම මිලට අලෙවි කරන්නේ ද යන්න පිළිබඳව දීප ව්‍යාප්තව විමර්ශන ආරම්භ කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා.

මේ වන විට 500 කට ආසන්න ඖෂධ සංඛ්‍යාවක උපරිම සිල්ලර මිල නියම කර ඇති බවත්, ඊට අදාළ මිල සූත්‍රය පසුගියදා පාර්ලිමේන්තුවේ දී සම්මත වූ බවයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කළේ.

නව මිල සූත්‍රය අනුව මිල නියම කිරීමෙන් ඇතැම් ඖෂධ වර්ගවල මිල ගණන් විශාල ලෙස අඩු වූ අතර, එම වාසිය ජනතාවට ලැබෙනවාද යන්න පිළිබඳව එම විමර්ශනවලදී සොයා බලන බවද, නියමිත උපරිම මිල ඉක්මවා ඖෂධ අලෙවි කරන ඖෂධහල්වලට එරෙහිව පියවර ගන්නා බව ද සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.