පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක වන නසීම් ෂා ගේ නිවසට නොදන්නා තුවක්කුකරුවන් පිරිසක් වෙඩි තබා ඇති අතර, මේ සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පාකිස්තාන පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.
පාකිස්තාන මාධ්‍ය වාර්තා කරන්නේ පහර දීමෙන් නිවසේ දොරටුව, ජනෙල් සහ නවතා තිබූ වාහනයකට හානි සිදු වී ඇති බවයි.
පොලිස් බලධාරීන්ට අනුව, මෙම සිද්ධිය ලෝවර් ඩිර් දිස්ත්‍රික්කයේ මායාර් හි පිහිටි ෂාගේ නිවසේදී සිදුවී තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය වැඩිදුරටත් පවසා ඇත්තේ.







