සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන නිලධාරීන් 5000ක් අලි-මිනිස් ගැටුම සමනය කිරීම සඳහා වනජීවි දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) ප්‍රකාශ කළේය. මේ වන විටත් එම නිලධාරීන් 3,975ක් වනජීවි දෙපාර්තමේන්තුව වෙත නිදහස් කර ඇති අතර තවත් 10,000ක් පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරි කටයුතු වෙනුවෙන් යෙදවීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා පැවැසීය. ඒ සඳහා ඔවුනට විශේෂ දීමනාවක් ලබාදීමට ද තීරණය කර ඇතැයි හෙතෙම සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ බව ප්‍රකාශ කළේය.
එමෙන්ම පසුගිය කාලයේදී විවිධ ස්ථානවල රාජකාරි සඳහා යොදවා සිටි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම ස්ථානවලින් ඉවත්කර මේ වන විට ක්‍රමවත් රාජකාරි සඳහා අනුගත කරමින් සිටින බව ද අමාත්‍යවරයා පැවැසීය.
ස්වර්ණා විජේකෝන්, මහින්ද
අලුත්ගෙදර, සන්ධ්‍යා කරුණාරත්න








