දළදා වහන්සේගේ පැවිදි පාර්ශ්වයේ භාරකරුවන් වන්නේ අතිපූජ්‍ය මල්වතු අස්ගිරි උභය මහා විහාරිය මහනායක හිමිවරු දෙනමය. ගිහි භාරකරුවා ලෙස පත්වන දියවඩන නිලමේ සමස්ත බෞද්ධ ජනතාවගේ ආධ්‍යාත්මික රජු හෙවත් බෞද්ධයන්ගේ නායකයා ලෙස පිළිගනී.
අතිපූජ්‍ය මහනායක මාහිමිපාණන් වහන්සේ දෙනමට ජීවිත කාලය පවතිනා තෙක් උතුම් දළදා වහන්සේගේ භාරකාරත්වය දැරීමට හැකිය. විහාර දේවාලගම් ආඥා පනත යටතේ දියවඩන නිලමේවරයාගේ කාලය වසර දහයකට සීමාවෙයි. නමුත් වසර දහයකට වරක් පැවැත්වෙන නිලවරණයේදී ඉදිරිපත් වී එම තනතුරට නැවත පත්වීමට හැකියාව ඇත.
1814 සිට මේ දක්වා දියවඩන නිලමේවරුන් 19ක් දළදා සමිඳුන්ගේ ගිහි භාරකාරත්වය දරා ඇත. කපුවත්තේ අධිකාරම්, දෙහිගම ලොකුබණ්ඩාර, කුඩා මොල්ලිගොඩ, කුඩා දෙහිගම, මුල්ලේගම අදිකාරම්, දූල්ලෑවේ අධිකාරම්, ලොකු බණ්ඩාර දෙහිගම, කුඩාබණ්ඩා දුනුවිල,
කුඩා මුදියන්සේ ගිරාගම, සෙනෙවිරත්න රත්වත්තේ, කුඩා බණ්ඩාර නුගවෙල,
පුංචි බණ්ඩා නුගවෙල, ටිකිරි බණ්ඩා රත්වත්තේ, කුඩා බණ්ඩා නුගවෙල,
හැරිස් ලෙව්කේ රත්වත්තේ, හීන් බණ්ඩා උඩුරාවණ, නිශ්ශංක පරාක්‍රම විජයරත්න, නෙරන්ජන් ප්‍රියදර්ශන දුල්ලෑව විජයරත්න සහ ප්‍රදීප් නිලංග දෑල නිලමේවරු ඒ අතර වෙති.
වර්ෂ 2015 දී අවසන් වරට පැවැත්වුණු දියවඩන නිලමේ තෝරාගැනීමේ නිලවරණයේ දී තේරී පත්වූ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ නිල කාලය සැප්තැම්බර් 07දායින් නිමාවට පත් විය. එදිනෙන් පසු මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක මාහිමිවරුන් දෙනමගේ නිර්දේශය මත එම තනතුරේ වැඩ බැලීමට නිලංග දෑල මහතාම පත් කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා පියවර ගත්තේ විහාර දේවාලගම් පනතේ නියමයන්ට අනුකූලවය.
අද (07) පැවැත්වෙන නිලවරණයට වත්මන් වැඩ බලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, ඓතිහාසික පස්ගම ශ්‍රී නාථ දේවාලයේ සහ ඓතිහාසික මහනුවර ශ්‍රී මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ, මහනුවර ශ්‍රී නාථ දේවාලයේ සහ ඇම්බැක්ක ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ව්‍යාපාර මූල්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය තිලක් සුබසිංහ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධරයකු වන ගාමිණී කළුහෙන්දිවල, පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරන බදුල්ල සෝනුත්තර රජමහා විහාරයේ හා සතර මහා දේවාලවල මහ නිලමේ රොෂාන් පියදර්ශන සහ යුද හමුදා විශ්‍රාමික කර්නල් නන්ද මඩුගල්ලේ මහත්වරුන් සාම්ප්‍රදායනුකූලව මහනායක මාහිමිවරුන් වෙත දැහැත් පිළිගන්වා මේ නිලවරණය සඳහා ඉදිරිපත් වන බව සැලකර සිය නම් ප්‍රසිද්ධියට පත්කර තිබේ.
නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට මල්වතු – අස්ගිරි උභය මහා විහාරීය මහානායක මාහිමිවරුන් දෙනම ප්රමුඛ මහා සංඝරත්නය ඇතුළු 257දෙනකු පමණ සුදුසුකම් ලබා සිටිති. පැරැණි උඩරට රාජධානි බල ප්‍රදේශයට අයත්ව තිබූ මහනුවර, මාතලේ, නුවරඑළිය, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර, පොලොන්නරුව, වවුනියාව, ත්‍රිකුණාමලය සහ අම්පාරේ සිංහල පත්තු ද මොණරාගල, බදුල්ල, කෑගල්ල, රත්නපුර ගාල්ල හිනිදුම් පත්තුව සහ මාතර මොරවක් කෝරලේද ඊට අයත්ය.
ප්‍රාදේශීය ලේකම්වරු 71 දෙනෙකු හා විහාර දේවාලගම් ආඥා පනත යටතේ ගැසට් කර ඇති දේවාලවල බස්නායක නිලමේවරු 29 දෙනෙකුද ඡන්දය පාවිච්චි කිරීමට සූදානම්ව සිටිති. උඩරට රාජධානි ප්‍රදේශයට අයත්ව තිබූ දේවාල 31 සඳහා මෙහිදී ඡන්ද හිමිකම ලැබෙන නමුත්, බස්නායක නිලමේවරුන් වන දමින්ද බණ්ඩාර උඩුරාවණ සහ ඒ.ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක මහත්වරුන් දේවාල දෙක බැගින් නියෝජනය කරන හෙයින් ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ
එක් දේවාලයක් නියෝජනය කරමිනි. එවිට ඔවුන් දෙපළට භාවිත කළ හැක්කේ ඡන්ද හතරක් වෙනුවට ඡන්ද දෙකකි. ඒ අනුව බස්නායක නිලමේවරුන්ගේ ඡන්ද සංඛ්‍යාව 29කට සීමා වී ඇත.
අද (07) නිලවරණය පවත්වන ශාලාවට ඇතුළුවීමට අවසර ලැබෙන්නේ අපේක්ෂකත්වය ප්‍රසිද්ධ කර තිබෙන පුද්ගලයන්ට හා ඡන්ද දායකයන්ට පමණි.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු 1815 දී ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත්වීමත් සමඟ දළදා වහන්සේද ඔවුන්ගේ භාරකාරත්වයට පත්විය. සුදු ජාතිකයන්ට එරෙහිව 1818 හා 1848 ක්‍රියාත්මක කළ නිදහස් සටන්වලින් පුරවැසියා පරාජයට පත්වීමෙන් අනතුරුව 1853 ශ්‍රීමත් දළදා වහන්සේගේ භාරකාරත්වය මල්වතු – අස්ගිරි උභය මහා විහාරීය මහනායක මාහිමිවරුන් දෙනමට ද ගිහි භාරකාරත්වය
දියවඩන නිලමේවරයාටද පැවරීමට ඉංග්‍රීසි පාලකයෝ කටයුතු කළහ. එදා මෙදා තුර මේ දක්වා දියවඩන නිලමේ ධුරයේ 19 දෙනෙකු කටයුතු කර තිබෙන බව ඉහතින් සඳහන් කළෙමි.
ඒ අනුව මෙවර පත්වන 20 වැනි දියවඩන නිලමේවරයාට 2035 වන තෙක් ලෝකවාසී බෞද්ධ ජනතාව ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සලකන උතුම් ශ්‍රී දළදා වහන්සේගේ ආරක්ෂාවේ ගිහි බාර කාරත්වය පැවරෙනු ඇත.







