මෝදර දේවාල කමිටුවේ සභාපති ඝාතනය ගැන තවත් තොරතුරු

අම්බලන්ගොඩ, නගර සභාවට අයත් ප්‍රධාන පුස්තකාලය ඉදිරිපිටදී ඊයේ (04) උදෑසන වෙඩිතබා සිදුකළ පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට තවත් තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ අනුව මෙලෙස ඝාතනය කර තිබුණේ අම්බලන්ගොඩ, පෝරඹ ප්‍රදේශයේ පදිංචි වරුෂවිතාන මිරන්ත නම් 54 හැවිරිදි පුද්ගලයෙකුවය.

පොලීසිය පැවසුවේ, එම පුද්ගලයා පසුගිය පළාත් පාලන මැතිවරණයට සමගි ජනබලවේගයෙන් අම්බලන්ගොඩ නගර සභාවට ලයිස්තුවෙන් ඉදිරිපත් වු  අයෙකු බවත්ය.

එමෙන්ම ඔහු විදෙස්ගතව සැඟවී සිටින අපරාධකරුවකු වන ‘කරන්දෙණිය සුද්දා’ නම් පුද්ගලයාගේ මස්සිනා බවද පොලීසිය පවසයි.

ඒ අනුව මෙම ඝාතනයට හේතුවී ඇත්තේ පසුගිය පළාත් පාලන මැතිවරණයට කලින් දින මීටියාගොඩ හෝටලයක් තුළදී මීටියාගොඩ ‘මහදුර නලින්’ සහ තවත් පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට පළිගැනීමක් බවට දැනට කරුණු අනාවරණය වෙමින් පවතින බව පොලීසිය කියයි.

මීටියාගොඩ මහාදුර නලින් ඝාතනයට කරන්දෙණිය සුද්දා පාර්ශ්වයට චෝදනා එල්ලවී තිබුණි.

කෙසේවෙතත් ඊයේ ඝාතනයට ලක්වූ මිරන්ත කිසිඳු මනුෂ්‍ය ඝාතනයකට චෝදනා ලැබූවෙකු නොවන බවද වාර්තා වෙයි.

මේ අනුව කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වයෙන් පළිගැනීමට මිරන්ත ඝාතනය මීටියාගොඩ මහදුර නලින්ගේ පාර්ශ්වයේ සිදු කරන්නට ඇති බවට පොලීසිය සැක පළ කරන අතර CCTV දර්ශන ඔස්සේ එක් පුද්ගලයකු හඳුනාගෙන ඇති බවද පොලීසිය සඳහන් කරයි.

අම්බලන්ගොඩ මෝදර මහා දේවාල කමිටුවේ සභාපති ලෙස සහ අම්බලන්ගොඩ ධීවර වරාය කළමනාකරණ කමිටුවේ උප සභාපති, අම්බලන්ගොඩ ග්‍රාමීය ධීවර සංවිධානයේ ලේකම්, අම්බලන්ගොඩ හිරේවත්ත සමූපකාර ධීවර සමිතියේ ලේකම් ලෙසද වරුෂවිතාන මිරන්ත කටයුතු කර තිබූ බවත් අනාවරණය වෙයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මෘතශරීරය සම්බන්ධයෙන් අද (05) බලපිටිය රෝහලේ මෘතශරීරාගාරයේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.