ඩයනා ගමගේට එරෙහි වීසා නඩුවේ සාක්ෂි විභාගය අද පැවැත්වේ

හිටපු රාජ්‍ය ඇමති ඩයනා ගමගේට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර තිබෙන ආගමන හා විගමන නඩුවේ සාක්ෂි විභාගය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, අදාළ නඩුව අද (30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ඩයනා ගමගේට අධිකරණය විසින් චෝදනා කියවා දුන් අතර, එම චෝදනාවලට තමන් නිවැරදිකාරිය බව ඇය ප්‍රකාශ කරනු ලැබුවා.

එහිදී රජයේ නීතිඥ අකිලා ධර්මධාතුගේ මෙහෙයවීම යටතේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරිනී හංසිකා කුමාරසිරිගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවී ඇති බවයි සඳහන් වන්නේ.

ඉන් අනතුරුව නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් මස 15 වැනිදා දක්වා කල් තැබුණා.

2016 ජුලි 14 සිට 2020 නොවැම්බර් 01 අතර කාල සීමාව තුළදී වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම සහ, විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ආගමන හා විගමන පාලක වෙත අසත්‍ය තොරතුරු ලබාදීම තුළින් ආගමන හා විගමන පාලක පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින්, නීතිපතිවරයාගේ උපදෙස් මත චෝදනා හතක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු රාජ්‍ය ඇමතිනියට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.