හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් පිළිබඳ තීන්දුව ප්රකාශයට පත්කිරීම අභියාචනාධිකරණය පසුවට තබා තිබේ.
පාස්කු ඉරුදින එල්ල වූ ත්රස්ත ප්රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව සිරිල් ගාමිණී පියතුමා සහ එම ප්රහාරයෙන් වින්දිතයෙකු වූ පුද්ගලයෙකු විසින් කොටුව මහෙස්ත්රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබෙන පුද්ගලික පැමිණිල්ල බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
මෙම පෙත්සම ධම්මික ගනේපොළ, පී. කුමාරන් රත්නම්, ශෂී මහේන්ද්රන්, දමිත් තොටවත්ත සහ අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගෙන ඇත.
මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර හා වග උත්තරකරකාර පාර්ශවය විසින් වාචික දේශන ඉදිරිපත් කිරීම අවසන් කර තිබේ.
ඉන් අනතුරුව නඩුකරයට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා නොවැම්බර් මස 23 වනදාට පෙර ගොනු කරන ලෙස විනිසුරු මඩුල්ල පාර්ශ්වකරුවන්ට නියෝග කර ඇත.
ඉන් අනතුරුව මෙම පෙත්සම පිළිබඳ තීන්දුව ප්රකාශයට පත් කිරීම අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් පසුවට කල් තබනු ලැබීය.
පෙත්සම්කාර මෛත්රිපාල සිරිසේන මහතා කියා සිටින්නේ පාස්කු ඉරුදින එල්ල කෙරුනු ත්රස්ත ප්රහාරය පිළිබඳ කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට චෝදනා කරමින් සිරිල් ගාමිණී පියතුමා සහ අදාළ ප්රහාරයෙන් වින්දිතයකු පුද්ගලයකු විසින් කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය හමුවේ තමාට එරෙහිව පෞද්ගලික පැමිණිල්ලක් ඉදිරිත් කළ බවය.
එම පැමිණිල්ල සලකා බැලූ මහෙස්ත්රාත්වරයා තමන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කළ බවත් ඔහු කියා ඇත.
පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාර සිද්ධිය පිළිබඳව සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ ඉදිරිපත් වූ කරුණු පදනම් කරගෙන තමාට එරෙහිව මෙම පුද්ගලික පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවත් එය ඉදිරිපත් කර තිබෙන ආකාරය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් මෛත්රිපාල සිරිසේන මහතා පවසා ඇත.
ඒ අනුව තමාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කර තිබෙන සිතාසිය හා අදාළ පුද්ගලික පැමිණිල්ල බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.








