මොන්තා සුළි කුණාටුව හෙට ඉන්දියාවට ඇතුළුවෙයි

“මොන්තා” සුළි කුණාටුව හෙට (28) දිනයේදී ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයට ඇතුළු වනු ඇති බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.

බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඇති වූ මෙම ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයේ විවිධ ප්‍රාන්ත සඳහා තද වැසි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම පීඩන අවපාතය දැනට සුළි කුණාටුවක් ලෙස හඳුනාගෙන ඇති බවත්, එය වෙරළ ආසන්නයට ගමන් කරන විට දරුණු සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බවත්, මේ හේතුවෙන් පැයට කිලෝමීටර් 90-110 ක පමණ තද සුළං ඇති විය හැකි බවත් ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා.

මේ හේතුවෙන් ඔඩිෂා, බටහිර බෙංගාලය, තමිල්නාඩු සහ ආන්ද්‍ර ප්‍රදේශ් යන ප්‍රාන්තවල සමහර ස්ථානවලට තද වැසි ඇති විය හැකි බවට එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇති අතර, අධික වැසි අනතුරු ඇඟවීම් හේතුවෙන්, ආන්ද්‍රා ප්‍රාන්තයේ පාසල් නිවාඩුවක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.