
ඉසෙඩ් පරපුරේ තරුණ විරෝධතා මැද ජනාධිපති ඇන්ඩ්‍රි රජෝලිනා රටින් පලා යෑමෙන් පසු එරට පාලනය හමුදාව යටතට ගත් බව එරට හමුදා කර්නල්වරයකු ප්‍රකාශ කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. කර්නල් මයිකල් රැන්ඩ්‍රියනිරිනා නිවේදනයක් මඟින් එම ප්‍රකාශය සිදු කිරීමත් සමඟ මැඩගස්කරයේ ජනතාව අගනුවර වීදි බැස ජය සැමරූ බව ද අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
හමුදා කර්නල්වරයා එම නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපතිවරයා රටින් පලා යෑමෙන් පසු මැඩගස්කර් පාර්ලිමේන්තුව දෝෂාභියෝගයකින් ජනාධිපතිවරයා ඉවත් කිරීමට පියවර ගැනීමෙන් පසුව බව ද අල් ජසීරා පුවත් සේවය සඳහන් කළේය.
මැඩගස්කරය හමුදා පාලනයට ගැනීමෙන් පසු එරට පාර්ලිමේන්තුව හැර සෙසු සියලු රාජ්‍ය ආයතන විසුරුවා හැරීමට ද පියවර ගෙන ඇති අතර, අන්තර්වාර රජයක් සහ හමුදා නිලධාරීන්ගේ කමිටුවක් ඒකාබද්ධව ඉදිරි වසර දෙකක කාලසීමාවකට මැඩගස්කරය පාලනය කරනු ඇතැයි කර්නල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. එම කාලසීමාවෙන් පසු එරට නව මැතිවරණයක් පැවැත්වීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කර තිබේ.
මේ වන විට එරට හමුදාව විසින් මැඩගස්කරයේ ඉහළ ව්‍යවස්ථාදායක අධිකරණය, ජාතික ස්වාධීන මැතිවරණ කොමිසම, මහාධිකරණය සහ ආරක්ෂක කවුන්සිලය විසුරුවා හැර ඇතැයි ද වාර්තා වේ.