ප්‍රංශ ජනපති මැක්‍රොන් හිටපු අගමැති යළි පත්කරයි

ප්‍රංශයේ දින කිහිපයක් පුරා පැවති ඉහළ දේශපාලන කැළඹිලි තත්ත්වයකින් පසු, ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් සෙබස්තියන් ලෙකෝර්නූ නැවත ප්‍රංශ අගමැති ලෙස පත් කරන බව නිවේදනය කර තිබෙනවා.

ලෙකෝර්නූ සිය ධූරයෙන් ඉවත්වී තිබුණේ මීට දින හතරකට පෙරයි.

මැක්‍රොන් මෙම නිවේදනය නිකුත් කළේ ඊයේ (10) සන්ධ්‍යාවේදී, එලීසේ මාලිගයේදී ප්‍රධාන පක්ෂ නායකයින් (අන්ත දක්ෂිණාංශික සහ අන්ත වාමාංශික පක්ෂ නායකයින් හැර) හමුවීමෙන් පැය කිහිපයකට පසුවයි.

ලෙකෝර්නූගේ නැවත පැමිණීම විස්මයක් වූයේ, ඔහු මීට දින දෙකකට පෙර මාධ්‍යයට පවසා තිබුණේ තමා “රැකියාව පසුපස හඹා නොයන” බවත්, තම “මෙහෙවර අවසන්” බවත්.

ඔහුට රජයක් පිහිටුවීමට හැකිවේද යන්න පවා තවමත් ස්ථිර නැති නමුත්, ඔහුට වහාම වැඩ ආරම්භ කිරීමට සිදුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ජනාධිපතිවරයා “රජයක් පිහිටුවීමට ලෙකෝර්නූට පැවරූ” බව එලීසේ මාලිගය පැවසූ අතර, මැක්‍රොන්ගේ පරිවාරය සඳහන් කළේ, ඔහුට කටයුතු කිරීම සඳහා “සම්පූර්ණ බලය” (carte blanche) ලබා දී ඇති බවයි.

මැක්‍රොන්ගේ වඩාත්ම පක්ෂපාතී සගයෙකු වන ලෙකෝර්නූ, පසුව Xහි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, “වසර අවසන් වන විට ප්‍රංශයට අයවැයක් ලබා දීමට සහ රටවැසියන්ගේ දෛනික ගැටලුවලට ප්‍රතිචාර දැක්වීමට ජනාධිපතිවරයා විසින් මා වෙත පවරා ඇති මෙහෙවර යුතුකමක් ලෙස භාර ගන්නා” බවයි.

ප්‍රංශයේ ජාතික ණය අඩු කර අයවැය හිඟය පාලනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව පවතින දේශපාලන බෙදීම් පසුගිය වසර තුළ අගමැතිවරුන් තිදෙනෙකුගෙන් දෙදෙනෙකුගේ බිඳවැටීමට හේතු වී ඇති බැවින් ඔහුගේ අභියෝගය අතිමහත් බවයි මාධ්‍ය සඳහන් කරන්නේ.

එමෙන්ම ප්‍රංශයේ රාජ්‍ය ණය මේ වසර මුලදී දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 114% කට ආසන්න වූ අතර, එය යුරෝ කලාපයේ තුන්වන ඉහළම අගයයි.

තවද, මෙම වසරේ අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.4%ක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.