2025 දෙවැනි කාර්තුවේදී මෙරට ආර්ථිකය 4.9% කින් වර්ධනය වෙයි

පසුගිය කාර්තු 07 ක කාලය තුළ පැවති හිතකර ආර්ථික තත්ත්වයන්ගෙන් ප්‍රතිලාභ ලබමින්, ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවැනි කාර්තුව සඳහා 4.9% ක ධනාත්මක වර්ධනයක් වාර්තා කර තිබෙනවා.

ඒ අනුව, වාහන ආනයන සීමා ඉවත් කිරීමට සාපේක්ෂව අඩු මට්ටමක පැවති පොලී අනුපාත සමඟ, වාහන අලුත්වැඩියාව ඇතුළත් තොග හා සිල්ලර වෙළෙඳාම, ගබඩාකරණය ඇතුළත් භාණ්ඩ හා මගී ප්‍රවාහනය, මූල්‍ය සේවා, රක්ෂණ සේවා මෙන්ම භාණ්ඩ හා සේවා මත අය කෙරෙන බදු (සහනාධාර අඩු කළ) වැනි ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් හරහා ආර්ථිකය වර්ධනය කිරීමට සමත් වී ඇති බවයි සඳහන් වන්නේ.

තවදුරටත්, ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයට හුරුපුරුදු ආර්ථික කටයුතු වන ඉදිකිරීම් සහ පතල් හා කැණීම්, 2025 දෙවැනි කාර්තුවේදී ද සිත්ගන්නාසුලු ප්‍රසාරණයක් වාර්තා කර ඇති අතර, මෙම කාර්තුව තුළ ‘නිෂ්පාදන කර්මාන්ත’ ආශ්‍රිත ක්‍රියාකාරකම් ද මධ්‍යස්ථ වර්ධනයක් වාර්තා කර ඇති බවයි සඳහන් වන්නේ.

2024 දෙවැනි කාර්තුවේදී 2.7%ක වර්ධනයක් වාර්තා කර තිබූ කෘෂිකාර්මික අංශය, 2025 දෙවැනි කාර්තුවේදී සමස්තයක් වශයෙන් 2% ක ධන වර්ධනයක් වාර්තා කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.