අගවිනිසුරු ගමන් ගත් රථ වාහන පෙළ වීඩියෝ කළ සැකකරු රිමාන්ඩ්

අගවිනිසුරුවරයා ගමන් ගත් රථ වාහන පෙළ වීඩියෝ කළ බව පවසමින් අත්අඩංගුවට ගත් සැකකරුවකු මේ මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක බෝදරගම හමුවට ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කළේ.

සැකකරුගේ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ අදාළ රථවාහන පෙළ ඡායාරූපගත කිරීම සම්බන්ධයෙන් තම සේවා දායකයා සමාව අයද සිටින බවත් සිය සේවා දායකයා ඇප මත මුදා හරින ලෙසත් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළා.