ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට එරෙහි විපක්ෂයේ විශ්වාසභංගය ගැන කථානායක තීන්දුව අද

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය විසින් බාරදෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කථානායකවරයාගේ තීරණය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

විශ්වාසභංගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයේ මතය ඇතුළත් වාර්තාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට පසුගියදා බාරදෙනු ලැබුවා.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් එම යෝජනාව කථානායකවරයාට භාරදුන්නේ පසුගිය අගෝස්තු මස 12 වැනිදායි.

මේ අතර, හිටපු ජනාධිපතිවරුන්ට හිමි වරප්‍රසාද අහෝසි කිරීම සඳහා කෙටුම්පත් කර ඇති 1986 අංක 4 දරණ ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමේ කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ගොනුකළ පෙත්සම්වල තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ වනවිට කථානායකවරයා වෙත යොමුකර තිබෙනවා.

ඒ අනුව බොහෝදුරට එහි තීන්දුව ද කථානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම්දෙනු ඇති.

පසුගියදා අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින්.

එමගින් හිටපු ජනාධිපතිවරුන්ට හෝ ඔවුන්ගේ වැන්දඹුවන්ට ලබාදී තිබෙන නිවාස, මාසික මූල්‍ය දීමනා, නිල වාහන, විශ්‍රාම වැටුප් ඇතුළු වරප්‍රසාද අහෝසි කිරීමට යෝජනා කර තිබෙනවා.