”රජයේ වැරදි පෙන්වා දෙන අයටත් දැන් මරණ තර්ජන එල්ල වෙන්න පටන් අරන්” – විපක්ෂ නායක

රට පුරා වෙඩි තැබීම්, නාදුනන තුවක්කුකරුවන්ගේ ඝාතන සංස්කෘතිය අදටත් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, මේ තත්ත්වය තුළ සිවිල් පුරවැසියන්ගේ ජන ජීවිත අනාථ වී ඇති මොහොතක පවතින රජයට සාධනීය විවේචන එල්ල කරන කණ්ඩායම්වලට පවා අද තර්ජන එල්ල කිරීමේ වැඩපිළිවෙළක් සූක්ෂමව දියත් වෙමින් පවතින බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මෙයට ආසන්න සිදුවීමවන්නේ බයි තක්සලාව කියන යූටියුබ් නාලිකාව ක්‍රියාත්මක කරන ඉරාජ් වීරරත්න සහ මිලින්ද රාජපක්ෂ යන අයගේ නිවෙස් අසලට අංක තහඩු රහිත බයිසිකල්වලින් විවිධ පුද්ගලයන් පැමිණීම බවත්, මේ තත්ත්වය තුළ සිවිල් පුරවැසියන්ට මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටින අයට සමාජ මාධ්‍ය ක්‍රියාකාරින්ට දැඩි අනාරක්ෂිතභාවයක් මතුව තිබෙන බවත්, විපක්ෂ නායකවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනුයි සඳහන් කළේ.

එමෙන්ම වත්මන් රජය පසුගිය මැතිවරණ වේදිකාවේ මේස පුටු අරන් ආවොත් ජාතික ආරක්ෂාව ගැන උපකාරක පන්ති පවත්වන්නම් කියූ බවත් එදා එහෙම කියූ මේ දේශපාලන පක්ෂය රටේ වගකීම බාර ගත් මොහොතක මේ මිනිමරු සංස්කෘතිය නගරයෙන් නගරයට ව්‍යාප්ත වී ඇති බවත්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට ද මෙවැනි තර්ජන එල්ල වීම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර නීතියේ ජීවිතය ආරක්ෂා කර ගැනීමේ මානව අයිතිය උල්ලංඝනය කිරීමක් බවත්, ඔහු පැවසුවා.

විපක්ෂ නායකවරයා පැවසුවේ, මෙසේ මාධ්‍යකරුවන්ට එල්ලවන තර්ජන ගර්ජන ප්‍රජාතන්ත්‍රවදයට එල්ල වන මරු පහරක් බවත්, මෙය වහා වළක්වන්න පියවර ගත යුතු බවත්.

මෙකී නාදුනන බයිසිකල්කරුවන් ගැන විමර්ශනය කළ යුතු අතර, රජය ක්‍රියාත්මක කරන නිවැරදි දේ ප්‍රශංසා කරන්නටත් වැරදි දේ විවේචනය කරන්න සියලු පුරවැසියන්ට අයිතිය ඇති බවයි විපක්ෂ නයකවරයාඅ සඳහන් කළේ.

රජයේ නිවැරදි හා වැරදි දේ පෙන්වා දීම ලක්ෂ 220ක් ජනතාවගේ වගකීම බවත්, ඒ අයිතිය ජනතාව සතු අයිතියක් බැවින් ඒ අයිතිය උදුරා ගන්න ආණ්ඩුවට හෝ මැර කණ්ඩායම්වලට හැකියාවක් නොමැති බවත්, ඔහු පෙන්වා දුන්නා.

එමෙන්ම සමාජ‌ය භීතියකට පත් කර ගෙන ඇති මේ මිනීමරු සංස්කෘතිය පරාජය කරන්න රජය වහා කටයුතු කළ යුතු බවත්, ඒ උදෙසා ලබා දිය හැකි උපරිම ශක්තිය ලබා දෙන බවත්, හෙතෙම පැවසුවා.

එසේම විපක්ෂ නායකවරයා සඳහන් කළේ, රජය අහන්න අකැමැති දේ යූටියුබ් නාලිකාවල යන විට ගත යුතු පියවර මේ අයට තර්ජනය කිරිම නොව තමන්ගේ වැරදි නිවැරදි කර ගෙන රට ඉදිරියට ගෙන යාම බවයි.

තවද, සමාජ මාධ්‍ය තුළ මෙන්ම නිදහස් මාධ්‍ය තුළ ඇත්ත ඇති සැටියෙන් කතා කරන මාධ්‍යවේදීන් ක්‍රියාකාරින් ආරක්ෂා කරන්න විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය පෙනී සිටින බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පැවසුවේ.