හිටපු ඇමති බෝගොල්ලාගමට එරෙහි නඩුවක් ඔහු නොමැතිව අහන්න නියෝග

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගමට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් ඔහු නොමැතිව විභාගයට ගැනීම සඳහා දින නියම කිරීමට කොළඹ මහාධිකරණය ඊයේ නියෝග කළා.

ඒ අනුව, මෙම නඩුව ඔක්තෝම්බර් මස 30 වනදා කැඳවනු ඇති.

අල්ලස් කොමිසම කළ කරුණු දැක්වීමත් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මෙම නියෝගය කර තිබෙනවා.

විත්තිකරු මේ වන විට විදේශගතව සිටින බවට තොරතුරු හෙළි වී තිබෙන නිසා ඔහු නොමැතිව නඩුව විභාගයට ගැනීමට අවසර දෙන ලෙසයි අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

2006 වසරේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ලන්ඩන් නුවර සංවිධාන කළ ආයෝජන ප්‍රවර්ධන ප්‍රදර්ශනයකට සහභාගි වී හෝටල් ගාස්තු සහ ප්‍රදර්ශන වියදම් ලෙස රුපියල් ලක්ෂ 15කට අධික මුදලක් භාණ්ඩාගාර රෙගුලාසිවලට පටහැනිව ගෙවන ලෙස ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා පෙළඹවීම තුළින් අල්ලස් පනතේ ”දූෂණය” නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනුකර තිබුණා.

හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම කලක් බි්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස ද කටයුතු කරනු ලැබුවා.