ආර්ථික වශයෙන් රට ඉදිරියට ගෙන යෑමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුව සිදු කරන කැපවීම අගය කරමින් මෙරට ආර්ථිකය ස්ථාවරව පවත්වා ගනිමින්, ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් ඉදිරියට ගෙන යෑම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ එකඟතාව පළ කරති.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර වන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ ඉදිරි කටයුතු පිළිබඳ ජනාධිපතිවරයා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර ඊයේ(21) ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී ඔවුහු මෙම එකඟතාව පළ කළහ.
ශ්‍රී ලංකාව හමුවේ ඇති වත්මන් ආර්ථික අභියෝග පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් දැනුම්වත් කළ ජනාධිපතිවරයා එකී අභියෝග හමුවේ වුව ද, 2026 අය-වැයෙන් මෙරට ජනතාවට අවශ්‍ය සහන සලසා දීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී සිහිපත් කළේය.
වත්මන් රජය යටතේ මේ වන විට ශ්‍රී ලංකාව තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති වී ඇති බැවින් එම ශක්තිමත් පදනම මත, ආර්ථික වර්ධනය ළඟා කරගනිමින් හා නව ආර්ථික අවස්ථා ග්‍රහණය කරගනිමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ගෙන යෑමේ වැඩපිළිවෙළ වේගවත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.
රට තුළ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කරමින් ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය තීරුබදු සහන ඇතුළු පහසුකම් ලබා දීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරවත්, අඛණ්ඩවත් පවත්වාගෙන යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඉදිරියටද ශ්‍රී ලංකාවට හිමි වනු ඇතැයි ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.
මේ වනතෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය පිළිබඳ ස්තුතිය පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටට හිමිවන ආර්ථික වර්ධනයේ සියලු ප්රතිලාභ ජනතාවට ලබා දීමට කටයුතු කරන බවද අවධාරණය කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් එහි ශ්‍රී ලංකාව සඳහා දූත මණ්ඩල ප්‍රධානී Evan Papageorgiou ඇතුළු Sandesh Dhungana, Ursula Wiriadinata, Dinar Prihardini, Samson Kwalingana, Ozlem Aydin මහත්ම මහත්මීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නේවාසික නියෝජිතයින් වන Martha Woldemichael, මානවී අබේවික්‍රම මහත්ම මහත්මින් ද මෙරට නියෝජනය කරමින් කම්කරු ඇමැති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මෙම අවස්ථාවට එක් වූහ.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එම්.කේ.සී. සේනානායක, මහ බැංකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති කේ.එම්.ඒ.එන්. දවුලගල, Alternate Executive Director මහාචාර්ය පී.කේ.ජී. හරිෂ්චන්ද්‍ර, උප අධිපති, මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ ලේකම් ආචාර්ය සී. අමරසේකර, ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය ජේ.එස්. ජෙගජීවන් යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.
උපාලි කරුණාරත්න සහ ජයසිරි මුණසිංහ