පලතුරු සහ එළවළුවලට නව්‍ය ඇසුරුම් විසඳුම් පිළිබඳ වැඩමුළුවක් පැවැත්වීමට ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය (NPC) පියවර ගෙන තිබේ.
අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) යටතේ පිහිටුවා ඇති ජාතික ඇසුරුම්කරණ මධ්‍යස්ථානය (NPC) විසින් “අපනයනකරුවන් සහ අපනයන හැකියාව ඇති ව්‍යවසායකයන් සඳහා පලතුරු හා එළවළු ආශ්රිත ඇසුරුම්කරණ විසඳුම්” පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් අපනයන සංවර්ධන මණ්ඩලයේ දී පැවැති අතර අපනයනකරුවන් සහ විභව අපනයනකරුවන් 70 දෙනෙකුගේ පමණ සහභාගිත්වයෙන් ඇසුරුම්කරණ ක්ෂේත්රයේ ප්‍රවීණයන් සහ ජාතික ශාක නිරෝධායන සේවාවේ විශේෂඥයන්ගේ සම්පත් දායකත්වයෙන් මේ වැඩමුළුව පැවැත්විණි.
වැඩමුළුව පැවැත්වීමේ එක් අරමුණක් වන්නේ නව්‍ය ඇසුරුම්කරණ විසඳුම් හරහා පලතුරු සහ එළවළුවල පසු අස්වනු හානි අවම කිරීම මඟින් ආර්ථිකයට ප්රතිලාභ ලබාදෙමින් අපනයන නිෂ්පාදනවල වටිනාකම ඉහළ නැංවීම බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. ශ්‍රී ලංකාවේ පසු අස්වනු හානිය සැලකිය යුතු මට්ටමක ඇති අතර එය එළවළුවලින් සියයට 20 – 30 සහ පලතුරුවලින් සියයට 15 – 20 අතර ප්‍රමාණයකට බලපාන අතර ප්‍රමාණවත් පරිදි ඇසුරුම් නොකිරීම මේ පසු අස්වනු හානියට ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන ඇත.
පුහුණු වැඩසටහනනේ දී ඇසුරුම් සංකල්ප, ඇසුරුම් ද්‍රව්‍ය, ඇසුරුම් තාක්ෂණය, ඇසුරුම්කරණ සැලසුම් සහ පලතුරු සහ එළවළු ඇසුරුම් සඳහා ග්‍රැෆික් නිර්මාණය සහ ශාක නිරෝධායන සහතිකයේ වැදගත්කම සහ එය ලබා ගැනීමේ ක්‍රියාවලිය වැනි ප්‍රධාන මාතෘකා සාකච්ඡා විය. නිසි ඇසුරුම්කරණයේ වැදගත්කම, වඩාත් ඵලදායි ඇසුරුම් ක්‍රම තෝරා ගැනීම සහ නිෂ්පාදන පිරිවැය වැළැක්වීම සඳහා නිවැරදි ද්‍රව්‍ය තෝරා ගැනීම ආදිය වැඩමුළුව මඟින් ආවරණය විය.








