දෙවැනි තරගයෙන් නවසීලන්තයට ලකුණු 5ක තියුණු ජයක්
මේ අවුරුද්දේ විස්සයි20 තරගාවලි 6යි: ශ්‍රී ලංකාව 5ක් දිනුම්
සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ පැවති දෙවැනි විස්සයි20 තරගයෙන් නවසීලන්තය ලකුණු 5ක තියුණු ජයක් හිමිකර ගත්තේය. ඒ අනුව තරග දෙකකින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවිය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිල මුලින් පන්දු රැකීමට තීරණය කළ හෙයින් නවසීලන්ත පිල ඕවර 19.3කදී ලකුණු 108ක් ලබාගත් අතර, ශ්‍රී ලංකා පිලේ සියලු දෙනා ලකුණු 103කට දැවී ගියහ. ශ්‍රී ලංකා මුල් පෙළ කඩා වැටෙද්දී එක් අන්තයක් ආරක්ෂා කරමින් නවසීලන්ත පන්දු යවන්නන්ට පහර එල්ල කළ පැතුම් නිස්සංක තම විස්සයි20 ක්‍රිකට් දිවියේ 13 වැනි අර්ධ ශතකය වාර්තා කළද එය ගඟට කැපූ ඉනිමෙන් වූවේය. පැතුම් පන්දු 51කදී හතරේ 6ක් සමඟ ලකුණු 52ක් වාර්තා කළ අතර, මහීෂ් තීක්ෂණ ලකුණු 14ක් ලබා ගත්තේය.
කෙසේ වුවද ශ්‍රී ලංකා පිල මේ වසරේදී විස්සයි20 තරගාවලි 6කට සහභාගිවී එයින් තරගාවලි 5ක්ම ජයග්‍රහණය කිරීම විශේෂත්වයකි. සිම්බාබ්වේ, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, බටහිර ඉන්දීය කොදෙව් යන විස්සයි20 තරගාවලි 2-1ක් ලෙස හා ඉන්දියාව සමඟ තරගාවලිය 2-0ක් ලෙස ශ්‍රී ලංකාව ජය වාර්තා කිරීමට සමත් විය.
ඊයේ තරගයේදී නුවන් තුෂාර පළමු පන්දුවෙන්ම ‘යෝකර්’ එකක් යවා නවසීලන්ත ආරම්භක පිතිකරු ටිම් රොබින්සන් ක්‍රීඩාගාරයට යැවූ අතර, යළි ක්‍රියාත්මකවූ තුෂාර ඊළඟ ඕවයේදී මාර්ක් චැප්මන්ට ද එම ඉරණම අත්කර දුන්නේය. පළමු විස්සයි20 තරගයේදී මෙන් නවසීලන්ත මුල් කඩුලු 6 ලකුණු 52ක් තුළ දවා ගැනීමෙන් ඇතිවූ පීඩනය ඉනිම නිමාවන තුරුම පැවැතියේය. ආරම්භක පිතිකරු විල් යංග් පන්දු 32කදී ලකුණු 30ක් හා ජෝජ් ක්ලාක්සන් පන්දු 25කදී ලකුණු 24ක් ලබා ගැනීම හැර නවසීලන්ත ලකුණු පුවරුවේ කතා කිරීමට දෙයක් ඉතිරිව නැති තරම්ය.
වනිඳු හසරංග නවසීලන්ත පිලට ප්‍රබල තර්ජනයක් වෙමින් ඔහුගේ පළමු ඕවයේදීම කඩුලු 2ක් සමඟ ලකුණු 17කට කඩුලු 4ක් බිඳ හෙළූ අතර, මතීෂ පතිරණ ලකුණු 11කට කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් විය. නුවන් තුෂාර කඩුලු 2ක් හා මහීෂ් තීක්ෂණ කඩුල්ලක් දවා ගැනීමට සමත් වූහ.
පළමු තරගයේදී මෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස්ගේ පිත්තෙන් ලකුණු වාර්තා නොවූ අතර, පැතුම් නිස්සංක හා කුසල් ජනිත් පෙරේරා 2 වැනි කඩුල්ලට පන්දු 24කදී ලකුණු 18ක සබඳතාවක් ගොඩනැඟූහ. රාත්‍රි කාලයේ පින්න වටෙද්දී පිතිකරණයට තණතිල්ලෙන් සහයෝගයක් නොලැබූ නිසාම කුසල් ජනිත් පෙරේරා පන්දු 10කදී රැස් කළේ ලකුණු 3ක් පමණි.
පැතුම් නිස්සංක සමඟ එක්වූ කමිඳු මෙන්ඩිස්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට ඉඩනොදුන් ෆර්ගියුසන් ලකුණක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගත්තේය. නායක චරිත් අසලංක ඊළඟ පන්දුවේදී දවාගත් ෆර්ගියුසන් පිට පිට කඩුලු 2ක් ලබා ගෙන නවසීලන්තය දෙසට තරගය හරවා ගත්තේය.
ශ්‍රී ලංකා ඉනිමේ පළමු ඕවර 10 නිමාවෙද්දී කඩුලු 4කට ලකුණු 54ක් සටහන්ව තිබූ අතර, 5 වැනි කඩුල්ල ලෙස භානුක රාජපක්ෂ ලකුණු 15කට දැවී ගියේය. ඉතිරි කඩුලු ඉක්මණින් දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.
නවසීලන්තය සියලු දෙනා දැවී ලකුණු 108යි (ඕවර 19.3)
විල් යංග් 30, මිචෙල් සැන්ටර් 19, ජෝජ් ක්ලාක්සන් 24, අතිරේක 19 (නුවන් තුෂාර 22/2, මහීෂ් තීක්ෂණ 16/1, වනිඳු හසරංග 17/4, මතීෂ පතිරණ 11/3)
ශ්‍රී ලංකා පිල සියලු දෙනා දැවී ලකුණු 103යි (ඕවර 19.5)
පැතුම් නිස්සංක 19, භානුක රාජපක්ෂ 15, මහීෂ් තීක්ෂණ 14 (ෆර්ගියුසන් 7/3, මචෙල් බෘස්වෙල් 23/2, ග්ලේන් පිලිප්ස් 6/2)








