ලොව පුරා සිටින පරිශීලකයින් වෙනුවෙන් ස්වේච්ඡාවෙන්ම විවිධ කාර්යයන් ඉටුකර දිය හැකි සුවිශේෂී AI පුද්ගලික සහායකයෙකු (AI Assistant) ඇතුළු නවතම කෘත්‍රිම බුද්ධි (AI) මෙවලම් රැසක් හඳුන්වා දීමට Google සමාගම සූදානම්ව සිටි.
Google සමාගමේ වාර්ෂික සංවර්ධක සමුළුව වන Google I/O හිදී මෙවර ප්‍රධානතම අවධානය යොමුව ඇත්තේ තාක්ෂණික ක්ෂේත්‍රයේ වර්තමාන නැගී එන රැල්ල වන “ඇජෙන්ටික් AI” (Agentic AI – පරිශීලකයා වෙනුවෙන් ස්වාධීනව ක්‍රියා කළ හැකි AI) කෙරෙහිය.
එහිදී ප්‍රකාශයට පත් කෙරුණු Gemini Spark නමැති නවතම AI සහායකයා (AI Agent) මෙහිදී කැපී පෙනෙන නිෂ්පාදනයක් වී ඇත.
“අපි දැන් නිල වශයෙන්ම අපේ ඇජෙන්ටික් ජෙමිනි (Agentic Gemini) යුගයට පා තබලා තියෙන්නේ,” යැයි කැලිෆෝනියාවේ මවුන්ටන් විව් හි පිහිටි ගූගල් මූලස්ථානයේ පැවැති සමුළුව අමතමින් ගූගල් ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිච්චායි මහතා පවසා තිබේ.
පසුගිය වසරේ මිලියන 400 ක් වූ Gemini ඇප් එකෙහි මාසික ක්‍රියාකාරී පරිශීලකයන් සංඛ්‍යාව මේ වන විට මිලියන 900 ඉක්මවා ගොස් ඇති බවද ඔහු අනාවරණය කළේය.
නවතම Gemini 3.5 මාදිලිය කරළියට
Google සමාගම සිය නවතම AI මාදිලි පෙළ වන Gemini 3.5 ලොව පුරා බිලියන සංඛ්‍යාත පරිශීලකයන් වෙත නිකුත් කිරීම ආරම්භ කර ඇත.
මෙහි ප්‍රථම අදියර ලෙස Gemini 3.5 Flash මාදිලිය හඳුන්වා දී ඇති අතර, එය ඉතා ඉහළ වේගයකින් ක්‍රියා කිරීමට සහ කෝඩින් (Coding) කටයුතු සඳහා විශේෂයෙන් නිපදවා ඇත.
මෙය අනෙකුත් තරඟකාරී මාදිලිවලට වඩා සිව් ගුණයකින් වේගවත් බව පැවසේ.
මීට අමතරව, වීඩියෝ නිර්මාණය සඳහාම වෙන් වූ Gemini Omni නමැති නවතම මාදිලියක්ද හඳුන්වා දී ඇත. මෙයට Text, Images හෝ Audio උපදෙස් ලබා දීමෙන් ගුරුත්වාකර්ෂණය සහ චලිත විද්‍යාව වැනි භෞතික විද්‍යාත්මක නීතිවලට අනුකූල වන, ඉතා තාත්වික උසස් තත්ත්වයේ වීඩියෝ නිර්මාණය කළ හැකිය.
මෙම වීඩියෝ ව්‍යාජ ලෙස භාවිත කිරීම වැලැක්වීම සඳහා SynthID නමැති නොපෙනෙන Digital Watermark ද ඊට ඇතුළත් වේ.
Gemini 3.5 තාක්ෂණයෙන් බලගැන්වෙන Gemini Spark සහායකයාට ඔබ වෙනුවෙන් ඊමේල් පරීක්ෂා කිරීම, රැස්වීම් සටහන් (Meeting notes) වර්ගීකරණය කිරීම සහ දෛනික වැඩකටයුතු ලැයිස්තුගත කිරීම වැනි සාමාන්‍ය රාජකාරීන් ස්වයංක්‍රීයව සිදු කළ හැකිය.
මෙය ක්ලවුඩ් (Cloud) තාක්ෂණය මත පදනම් වන බැවින්, ඔබ පරිගණකය ක්‍රියා විරහිත කර තිබුණද පසුබිමෙන් ක්‍රියාත්මක වෙමින් පවතී. කෙසේ වෙතත්, මුදල් ගෙවීම් හෝ ඊමේල් පණිවිඩ යැවීම වැනි තීරණාත්මක කාර්යයන් සඳහා ක්‍රියාත්මක වීමට පෙර මෙය පරිශීලකයාගෙන් අවසර විමසීමට සැලසුම් කර ඇත.
Search සහ Shopping සඳහා නව මුහුණුවරක්
Google Search යාන්ත්‍රණය සඳහා වසර 25 කට පසු සිදුවන විශාලතම යාවත්කාලීන කිරීම සිදු කරමින් නව “Intelligent Search Box” එකක් හඳුන්වා දී ඇත.
මෙහිදී සාමාන්‍ය වචන එකක් හෝ දෙකක් වෙනුවට ඉතා දිගු ප්‍රශ්න වුවද ඇතුළත් කළ හැකි අතර AI මගින් ඊට අදාළ යෝජනා සපයයි. එසේම රූප, වීඩියෝ සහ Chrome tabs පවා Search inputs ලෙස භාවිත කළ හැකිය.
මීට අමතරව Universal Cart නමැති බුද්ධිමත් Shopping Tool ද හඳුන්වා දී ඇත.
ඔබ Google, YouTube හෝ Gmail පරිශීලනය කරන අතරතුර දකින භාණ්ඩ මෙම එකම Cart ඇතුළත් කළ හැකි අතර, එම භාණ්ඩවල මිල අඩු වීම් සහ දීමනා පිළිබඳව මෙම AI මෙවලම ඔබට නිරන්තරයෙන් දැනුම් දෙනු ඇත.








