මැයි 15 වනදායින් පසුව කාලගුණය වෙනස් වෙයි ද?

පවතින කාලගුණික තත්ත්වය හමුවේ ලැබෙන වර්ෂාපතනයත් සමග ජලාශවල ජල මට්ටම් ඉහළ යා හැකි බවත් එසේ අවධානමක් සහිත ජලාශවල මේ වන විටත් ජලය මුදා හැරීමට කටයුතු කරමින් සිටින බවත් ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්ෂ ලසන්ත සූරියබණ්ඩාර මහතා පවසයි.

දෙරණ BIG FOCUS වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.

ජල පද්ධතිය සමස්තයක් ලෙස දැක්වුවහොත් සම්පූර්ණ ජලාශවලින් 65%ක පමණ ප්‍රමාණයක් පිරී ඇති අතර ප්‍රධාන ජලාශ 73න් ජලාශ 12ක්, මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 6ක් මේ වන විටත් වාන් දමන බවද ලසන්ත සූරියබංඩාර මහතා පැවසීය.

එමෙන්ම ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ වෙහෙරගල ජලාශය වාන් දැමීම නිසා කතරගමට යම් අනතුරුදායක තත්ත්වයක් ද පවතින බවය.

විශේෂයෙන්ම කතරගම පුදබිමට බාහිරින් විශාල පිරිසක් පැමිණෙන අතර ඔවුන් මෙම කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් අවබෝධයෙන් සිටිය යුතු බවද ඔහු මෙහිදී කියා සිටියේය. 

එලෙස බාහිරින් පැමිණ මැනික් ගඟ පරිහරණය කරන ජනතාවට ගඟෙහි හැසිරීම පිළිබඳව අවබෝධයක් නොමැති අතර ඒ හේතුවෙන් ගඟේ හැසිරීම ගැන සැලකිලිමත් වෙන ලෙස ද ලසන්ත සූරියබංඩාර මහතා දැනුම් දී ඇත.

ඉදිරියේ දී ලැබෙන ව‍ර්ෂාපතනයත් සමඟ ගඟෙහි ජලය මුදා හැරීම තවදුරටත් ඉහළ යා හැකි බැවින් ඒ සම්බන්ධයෙන් ද අවධානයෙන් පසුවීම වැදගත් වන බවද මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසීය. 

කෙසේවෙතත් ජලාශවලින් නිදහස් කරන ජල මට්ටම් හේතුවෙන් මේ දක්වා කිසිදු ගංවතුර තත්ත්වයක් වර්ධනය වී නොමැති බවද ඔහු සඳහන් කර සිටී.

මෙම කාලගුණික තත්ත්වය හමුවේ පවතින වර්ෂාපතන රටාව අනුව ක්ෂණිකව කෙටි කාලයක් ඇතුළත වර්ෂාපතනය ලැබෙන බවත් ඒ හේතුවෙන් ගංඟාවක් නොතිබුණ ද පහත් බිම් ක්ෂණිකව යටවීමේ හැකියාවක් පවතින බවත් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව තම ප්‍රදේශයට ලැබෙන වර්ෂාපතනය සම්බන්ධයෙන් ජනතාව සැලකිලිමත් විය යුතු බවද ඒ මහතා සඳහන් කර සිටී.

මේ අතර BIG FOCUS වැඩසටහනට එක්වෙමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ ඉදිරි දින දෙකක කාලය තුළ දී මෙම වැසි තත්ත්වය මෙලෙසින්ම පවතින බවට පුරෝකතනය කර ඇති බවය.

එමෙන්ම මෙම අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වී එම පද්ධතිය උතුරු දෙසට ගමන් කරනු ඇතැයි පුරෝකථනය කර ඇති බවත් ඒත් සමගම නිරිත දිග සුළං ප්‍රවාහයේ බලපෑම ඇති විය හැකි බවත් ඒ මහතා මෙහිදී පැවසීය.

ඒත් සමගින් මැයි 15වනදායින් පමණ පසුව පවතින වැසි තත්ත්වය ක්‍රමිකව අඩු විය හැකි බවද මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මැයි 15වනදායින් පමණ පසුව මෙරට හරහා ක්‍රමයෙන් නිරිත දිග සුළං ප්‍රවාහය සකස් වෙමින් පවතින බවය.

ඒ අනුව මැයි මාසයේ අග පමණ වනවිට නිරිත දිග මෝසමේ ලක්ෂණ ක්‍රමයෙන් ඇති විය හැකි බව ද ඒ මහතා පැවසීය. 

නිරිත දිග මෝසමේ ආරම්භයත් සමග මැයි මාසය අගදී සහ ජුනි මාසය මුල දී වැසි තත්ත්වය වැඩි විය හැකි බවත් ඉදිරි දත්ත සමග එය පුරෝකතනය කිරීමට බලාපොරොත්තු වන බවත් මෙරිල් මෙන්ඩිස් මහතා කියා සිටියේය.

ඒ අනුව මැයි මාසය අගදී සහ ජුනි මාසය මුලදී කාලගුණ අනාවැකි සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් ඒ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

නිරිත දිග මෝසම ආරම්භයත් සමග විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව යන පළාත්වලටත් ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවලට උදෑසන කාලයේදීත් වැසි අපේක්ෂා කළ හැකි බවද ඔහු මෙහිදී සඳහන් කළේය.

මෙරිල් මෙන්ඩිස් මහතා වැඩිදුරටත් පැවසුවේ මෝසම යනු වැස්ස සහ සුළඟ යන දෙකෙහිම එකතුවක් වන අතර උදෑසන කාලයේ දී වැස්ස ලැබීම එහි ලක්ෂණක් වන බවත් මෙය කුණාටු තත්ත්වයක් නොවන බවත් ය.

එමෙන්ම නිරිත දිග මෝසමත් සමග මුහුදු ප්‍රදේශවල සුළං ප්‍රවාහය වැඩි විය හැකි බවද ඒ මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් මෙහිදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ ඒ මොහොතේ ඇති දත්ත විශ්ලේෂණ මත පදනම්ව මෙසේ අනාවැකි සැකසෙන බවත් ඉදිරි පුරෝකතන අනුව මෙම තත්ත්වය වෙනස් විය හැකි බවත් ය.