අමෙරිකාවට මත්ස්‍ය අපනයනය සඳහා පනවා තිබූ බාධා ඉවත් වූ බවත් මෙරට මුහුදු කකුළුවන් අපනයනය සඳහා අමෙරිකානු රජයේ ආයතනය විසින් නිල අනුමැතිය හිමිවී ඇති බවත් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පැවසුවේ අමෙරිකා එක්සත් ජනපදය වෙත මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීමේදී “සාගර ක්ෂීරපායින් ආරක්ෂා කිරීමේ පනත” යටතේ පනවා තිබූ දැඩි කොන්දේසි සපුරාලීමට ශ්‍රී ලංකාව සමත් වූ බවය.
ඇමරිකා එක්සත් ජනපදයේ වාණිජ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන National Oceanic and Atmospheric Administration – NOAA විසින් නිල වශයෙන් ඒ සම්බන්ධව දැනුම් දී ඇත්තේ, ශ්‍රී ලංකාවේ මුහුදු කකුළුවන් ඇල්ලීමේ ක්‍රියාවලිය සහ ඒ ආශ්රිත රෙගුලාසි ඇමරිකානු ප්‍රමිතීන්ට අනුකූල බවට තහවුරු වී ඇති බවය.
2025 නොවැම්බර් මාසයේදී අමෙරිකානු අධිකරණ තීන්දුවක් මත මෙම අපනයන කටයුතුවලට
යම් බලපෑමක් එල්ල වුවද, ධීවර දෙපාර්තමේන්තුව NARA ආයතනය සහ අදාළ අංශ විසින් ඉදිරිපත් කරන ලද විද්‍යාත්මක දත්ත සහ කරුණු සැලකිල්ලට ගනිමින් NOAA ආයතනය සිය තීරණය යළි සමාලෝචනය කර මෙම අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව මෙම අනුමැතිය විශේෂ කරුණු කිහිපයකින් සමන්විත වන අතර ඒ යටතට,
- අපනයන අයිතිය තහවුරු වීම: අමෙරිකාවට මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීමට නම් අනිවාර්යයෙන්ම තිබිය යුතු “ප්‍රමිති අනුකූලතා සහතිකය” (Comparability Finding) මේ හරහා ශ්‍රී ලංකාවට හිමිවේ.
- වලංගු කාලසීමාව: මෙම නිල අනුමැතිය 2029 දෙසැම්බර් 31 වනදා දක්වා වලංගු වන අතර, එම කාලය තුළ ශ්‍රී ලංකාවේ මුහුදු කකුළුවන් අපනයනය කිසිදු බාධාවකින් තොරව සිදු කළ හැකිය.
- පරිසර හිතකාමී ධීවර කර්මාන්තය: මසුන් ඇල්ලීමේදී ඩොල්ෆින්, තල්මසුන් වැනි සාගර ක්ෂීරපායීන්ට හානි නොවන පරිදි ශ්‍රී ලංකාව අනුගමනය කරන ක්‍රමවේද මෙහිදී ජාත්‍යන්තර ඇගයීමට ලක්ව ඇත.
අමාත්‍යාංශය පැවසුවේ මෙම ජයග්‍රහණය මෙරට ධීවර ප්‍රජාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත්, විදේශ විනිමය ඉපයීම ඉහළ නැංවීමටත් ලැබුණු මනා පිටුවහලක් බවය.








