පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ කොත්මලේ ගැරඬිඇල්ල බස් අනතුර සිදු වී අදට (11) වසරක් ගත වී තිබේ.
කතරගම සිට නුවරඑළිය දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් කොත්මලේ ගැරඬිඇල්ල ප්රදේශයේ සිදු වූ අනතුරට වසරක් ගත වීම නිමිත්තෙන් මියගිය අයට සහ තුවාල ලබා සිටින අයට සෙත්පතා අනතුරු සිදු වු ස්ථානයේ අද සෙත්පතා සර්ව ආගමික වතාවන් සහිත පිංකමක් පවත්වා තිබේ.
කොත්මලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිළධාරීන් සහ කොත්මලේ ප්රදේශවාසීන් එක්ව මෙම පිංකම සංවිධානය කර තිබුණි.
කොත්මලේ ප්රදේශයේ මහා සංඝරත්නය සහ අන්යආගමික් නායකයින්ද එම ස්ථානයට කැඳවා ආගමානුකූලව පින්අනුමෝදන් කර අනතුරින් මියගිය සියලු දෙනාට පැන් වැඩීමක්ද සිදු කර තිබේ.
කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වු ලංගම බස් රථයක් කොත්මලේ ගැරඬි ඇල්ල ප්රදේශයේදි පසුගිය වසරේ අද වන මැයි මස (11) දින අලුයම 4:30ට පමණ අඩි 100ක් පමණ ප්රපාතයකට පෙරලීමෙන් එම බස් රථයේ ගමන් ගත් රියදුරු ඇතුළු 24 දෙනෙකු ජිවිතක්ෂයට පත් විය.
බස් රථයේ ගමන් ගත් 40 දෙනෙකු පමණ බරපතළ ලෙස තුවාල ලබා නුවරඑළිය, ගම්පොළ සහ මහනුවර ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කර තිබුණි.
බස් රථයේ රියදුරාට නින්ද යෑම අනතුරට හේතුවී ඇති බවට එම අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ විශේෂ පරික්ෂණ කමිටුවක් විසින් තිරණය කර තිබුණි.
මේ අතර, මෙම බස් අනතුරින් බරපතළ ලෙස තුවාල ලබා රෝහල් ගත කරන ලද කාන්තාවකගේ සිගිත්තා බේරා ගෙන එම සිගිත්තාට මවු කිරි ලබා දුන් ප්රදේශවාසී කාන්තාවකට තෑග්ගක් ලබා දීමටද පොලීසිය පියවර ගෙන තිබුණි.








