ශ්‍රී ලාංකික ප්‍රජාවට සුවිශේෂී මෙහෙයක් ඉටු කරන ජාතික අක්ෂි බැංකුවට වසර 15 ක් සපිරීම සහ ලෝක තැලසීමියා දිනය පිළිබඳව වූ විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් අද (07) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ (සුවසිරිපාය) ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
වසර 15 ක් සපිරෙන ජාතික අක්ෂි බැංකුව පසුගිය කාලය පුරා ඉටු කළ මෙහෙවර සහ ඉදිරියේදී මහජනතාව වෙනුවෙන් ලබාදෙන සේවා පිළිබඳවත්, ලෝක තැලසීමියා දිනය වෙනුවෙන් මැයි 08 වැනිදා මෙරට පැවැත්වෙන සැමරුම් උත්සවය මෙන්ම එදින සිදු කෙරෙන විශේෂ දැනුවත් කිරීමේ වැඩසහන්, තැලසිමියාව පිළිබඳව මහජනතාව දැනුවත් විය යුතු කරුණු පිළිබඳවත් ජනතාව හා මාධ්‍ය ආයතන දැනුවත්භාවය උදෙසා මෙම විශේෂ ප්රවෘත්ති සාකච්ඡාව පවත්වන්නට යෙදුණු බව ප්රවෘත්ති සාකච්ඡාව ආරම්භ කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්රවෘත්ති හා ප්‍රචාරණ) ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහතා පැවසීය.
මෙම ප්රවෘත්ති සාකච්ඡාවේ දී ජාතික අක්ෂි රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර, ජාතික අක්ෂි බැංකුවේ වෛද්‍ය අධ්යක්ෂ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කුසුම් රත්නායක, ජාතික අක්ෂි බැංකුවේ කළමනාකරු අනුරුද්ධ මාරසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම, රිඡ්වේ ආර්යා ළමා රෝහලේ රක්ත ව්‍යාදි වේදය පිලිබඳ විශේෂඥ වෛද්‍ය නිපුනිකා සේනාධීර, රාගම තැලසීමියා ප්‍රතිකාර ඒ්කකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී සෞම්‍යා වර්ණකුලසුරිය, ලංකා තැලසීමියා සංවිධානයේ සභාපති මධුෂ කුමාර යන මහත්මීන් අදහස් දක්වන ලදි.
ජාතික අක්ෂි රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ප්රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමින් අක්ෂි සේවාව දිවයින පුරා ක්‍රියාත්මක බැවින් සියළු ජනතාවට ප්රශස්ත සේවාවක් සැපයෙන බව ද අත්‍යාවශ්‍ය විශේෂිත වූ ශල්‍යකර්ම වැනි අසාද්‍ය මට්ටමේ පසුවන රෝගීන් වෛද්‍ය නිර්දේශයක් මත පමණක් ජාතික අක්ෂි රෝහලට පැමිණීම ප්‍රමාණවත් බව අවධාරණය කරන ලදි. සෑම කාර්යයකටම අක්ෂි රෝහලට නොපැමිණෙන ලෙස ද පෙන්වා දෙන ලදි.
පාසැල් සිසු සිසුවියන්ගේ අධ්‍යාපනය අඩාලවීමට, ඉගෙනීමේ දුර්වලතාවයන් සඳහා ඇස් පෙනීමේ දුර්වලතා හේතු වී ඇති බවත්, මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය පාසැල් වෛද්‍ය පරීක්ෂණ යනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බවද පැවැසීම එම පරීක්ෂණ සඳහා දරුවන් යොමු කිරිම මගින් අක්ෂි රෝග කළින් හඳුනාගත හැකි බවත්, එමගින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගත හැකි බවද පැවැසීය.
දරුවන් අක්ෂි රෝග කල් තියා හදුනා ගෙන ප්‍රතිකාර වලට යොමු නොවීම හේතුවෙන් වැඩිහිටි වියට පත්වන විට සංකූලතා මතුවිය හැකි බවත්, එය නිවැරදි කළ නොහැකි සංකූලතා තත්ත්වයට පත්විය හැකි බව ද පැවැසිය.
වපර තිබෙන දරුවන් ප්‍රතිකාර සඳහා පසුකාලීනව යොමු වන බවත්, එම හේතුවෙන් එම තත්ත්වය නිවැරදි කළ ද රෝගීයාට යහපතක් සිදු නොවන බව වෛද්‍යවරු පෙන්වා දෙන බවද පැවසු අධ්යක්ෂවරයා වපරය සඳහා වේලාසන පැමිණ ප්‍රතිකාර ගන්නා ලෙසත් කරුණු දක්වන ලදි.
වසර 15 සපුරන අක්ෂි බැංකුව සිදු කළ මෙහෙවර වෙනුවෙන් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සුබපැතුම් එක් කළ අතර, ජනතාව ඇස් දන්දිම සිදු කිරිම මත මෙරට දහස් සංඛ්‍යාවක් වන ඇස් අන්දවීමට ගිය ජනතාවගේ ඇස් ජාතික අක්ෂි බැංකුවේ විශේෂඥ වෛද්‍යතුමන්ලා ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආරක්ෂා කර ඇති බවත්, ජාතික අක්ෂි බැංකුව මෙම සේවා නොමිලේ ලබාදෙනු ලබන බවද වැඩිදුරටත් පැවැසීය.
ජාතික අක්ෂි බැංකුවේ වෛද්‍ය අධ්යක්ෂ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කුසුම් රත්නායක මහතා අදහස් දක්වමින් ජාතික අක්ෂි බැංකුවට වසර 15 ක් සපිරීම නිමිත්තෙන් පවත්වනු ලබන විශේෂ වැඩසටහන හෙට(08) බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන බව පැවැසීය.
අක්ෂි බැංකුව පුද්ගලයෙකු මිය ගිය විට එම පුද්ගලයාගේ අක්ෂි කුණිතය කොටස ලබාගෙන විද්‍යනුකූලව සකස් කර කුණීත අන්ධභාවයෙන් පෙළෙන රෝගියෙකුට බද්ධ කර පෙනුම ලබාදීමට කටයුතු බව පැවැසීය.
මෙරට සැළකිය යුතු පිරිසක් කුණීත අන්ධභාවෙයන් පෙළෙන බව ද පෙන්වා දුන් ඒ මහතා මෙරට සියයට 84 ක් පමණ වන ජනතාව ඇස් දන්දීම සඳහා කැමැත්ත පළ කළ රටක් බවද ඒ ලෝකයේ ඉහළින්ම සිටින රට ලෙසින් බව ද පැවැසීය.
ජාතික අක්ෂි රෝහල, මහනුවර ජාතික රෝහල, කරාපිටිය ජාතික රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, යාපනය ශික්ෂණ රෝහල යන රෝහල්වල කුණිත බද්ධ කිරිම සඳහා විශේෂඥ වෛද්‍යවරු වන බවත්, එම සේවාව තවදුරටත් ව්‍යාප්ත කිරිම අරමුණ බවද පැවැසිය.
ජාතික අක්ෂි බැංකුව පිහිටුවීමේ සිට මේ දක්වා කුණිත 17,000 කට වඩා එකතු කර ඇති බව ද එම කුණිත වලින් 12,000 ක් මෙරට රෝගීන් සඳහා බද්ධ කර ඇති බව ද වෙනත් රටවල අවශ්‍යතාවය සහ ඉල්ලීම මත 4000 – 4500 ක් පමණ ප්රදානය කර ඇති බව ද පැවැසිය.
ඉදිරියේ දී වෛද්‍ය සංචාරක කර්මාන්තය තුළින් කූණීත අන්ධභාවයෙන් පෙළෙන රෝගීන් මෙරටට ගෙන්වාගෙන නොමිලේ කුණීත බද්ධ කිරිම වැඩපිළිවෙළක් ඇස් බැංකුව හරහා ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන බව ද පැවැසීය.
මෙරට අක්ෂි බැංකුව ලොව පිළිගත් ආයතනයක් බවත්, සිංගප්පූරුව හා දකුණු අප්‍රිකා, ආසියා රටවලින් මෙරට අක්ෂි බැංකුවට වැඩි ඉල්ලුමක් පවතින බව ද පෙන්වා දුන් ඒ මහතා අවධාරණය කරන ලදි.
මෙරට තැලසීමියා රෝගීන් 2500 ක් පමණ අප රටේ වන බවත්, ඊට වසරකට දරුවන් 45 ත් 60 ත් අතර අළුතින් එක් වන බව ද මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය පැවසීය. මෙරට තැලසීමියා ප්‍රතිකාර මධ්‍යස්ථාන 15 ක් වන බවද සම්පූර්ණ රුධිර පරීක්ෂණයක් (Full Blood count) තුළින් තැලසීමියා වාහක තත්ත්වය පරික්ෂා කර ගත හැකි බව ද පැවැසීය.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ රක්තව්‍යාධිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිපුනිකා සේනාධිර මහත්මිය පැවසුවේ ඇට මිඳුළු බද්ධ කිරීම මඟින් තැලසීමියා රෝගීන්ට ප්‍රතිකාර කර සුවපත් කිරීමේ ක්‍රමවේදය බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ක්‍රියාත්මක වන බවයි. එහෙත් වඩාත් වැදගත් වන්නේ තැලසීමියාව වළක්වා ගැනීම ගැනීම බව ද ඇය අවධාරණය කළාය. එහි දී, විවාහයට පෙර යෞවන යෞවනියන් තැලසීමියාව වළක්වා ගැනීම පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීම අත්‍යාවශ්‍ය බව ද ඇය අවධාරණය කළාය.
රාගම තැලසීමියා ප්‍රතිකාර ඒ්කකයේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරී සෞම්‍යා වර්ණකුලසුරිය මහත්මිය ප්‍රකාශ කළේ දිවයින පුරා, තැලසීමියා රෝගීන් සඳහා ප්‍රතිකාර සේවා ලබාදීමට තම මධ්‍යස්ථානය සුදානම් බවයි. ඒ් සඳහා අවශ්‍ය පහසුකම් නැංවීමට බලාපොරොත්තු වන බව ද ඇය සඳහන් කළාය.








