‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට පත්වූ මන්නාරම සහ උතුරු දුම්රිය මාර්ගයන්හි අලුත්වැඩියා කටයුතු අවසන් වුවත්, ‘යාල් දේවී’ ඇතුළු දුම්රිය කිහිපයක් තවමත් ධාවනයට එක්කර නොමැති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.
එම සංගමය පෙන්වා දුන්නේ, උත්තර දේවී සීඝ්‍රගාමී දුම්රියද මේ වෙනතුරු ධාවනයට එක්කර නොහැති බවය.
අනෙකුත් මාර්ගවල දුම්රිය ධාවනයද සීමා සහිත වී ඇති බවද පෙන්වා දෙන එම සංගමය, මෙලෙස ප්‍රධාන දුම්රිය ධාවනය නොකිරීමෙන් මඟීන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බවද පෙන්වා දුන්නේය.
ඒ අනුව එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසා සිටියේ, මෙම ගැටලුව විසඳීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයට කිසිඳු වැඩපිළිවලක් නොමැති බවය.
වැඩිදුරටත් අදහස් දැක්වූ සුමේධ සෝමරත්න මහතා,
“දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් මන්නාරම මාර්ගයේ, උතුරු මාර්ගයේ අලුත්වැඩියා කටයුතු සියල්ල මේ වනවිට නිමවෙලා තියෙනවා.
නමුත් දුම්රිය හිඟකම නිසා තලෙයිමන්නාරම දුම්රිය, ප්‍රධානම දුම්රියවන කන්කසන්තුරේ දක්වා ධාවනය වූ ‘යාල් දේවී’ දුම්රිය තවමත් ධාවනයට එක් කරගන්න බැරි තත්ත්වයක පවතිනවා.
ඒ වගේම ‘උත්තර දේවී’ සීඝ්‍රගාමී දුම්රියත් මේ වෙනතුරුත් ධාවනයට එක් කරන්න බැරි වෙලා. අනෙකුත් මාර්ගවලත් දුම්රිය ධාවනය සීමාසහිත වෙලා.
මේ පිළිබඳව නිසි පියවර ගැනීමේ සූදානමක්වත් දෙපාර්තමේන්තුව මට්ටමෙන් නෑ. දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා උත්සාහ කළත්, අමාත්‍යාංශ මට්ටමෙන් අවශ්‍ය පහසුකම් ලැබෙන්නේ නැති ආකාරයක් අපිට පෙනී යන්නේ. මේ නිසා දිනෙන් දින මගීන්ට දැඩි පීඩනයකට ලක්වෙන්න සිද්ධ වෙලා.
එමෙන්ම රජයේ සේවකයන්ගේ අලුත් මාසයට අදාළ ප්‍රවේශපත්‍ර නිසි පරිදි දුම්රිය ස්ථානවෙත එවලා නෑ” යැයි පැවසීය.
අනෙකුත් මගීන්ගේ ප්‍රවේශ පත්‍රද කලට වේලාවට ලබානොදීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් අපහසුතාවට පත්ව ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
මෙවැනි පරිපාලනමය ගැටලු ගණනාවක් තිබෙන බවත්, මේ තත්ත්වයත් සමග දෙපාර්තමේන්තුව දිනෙන් දින පරිහානියට පත්ව බවත් සුමේධ සෝමරත්න මහතා පැවසීය.
ඉන්ධන අර්බුදය පවතින අවස්ථාවක, දුම්රිය ප්‍රවාහනය වැඩිකළ යුතු බවට යෝජනා ඉදිරිපත්කර ඇතත්, ප්‍රවාහන අමාත්‍යවරයා ඒ පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වා කටයුතු කිරීම ගැනද ඔහු සිය අප්‍රසාදය මෙහිදී පළකර සිටියේය.
“විදුලි දුම්රිය ආරම්භ කිරීමට පෙර පවතින දුම්රිය ප්‍රමාණය යථා තත්ත්වයට පත්කර දුම්රිය මාර්ග නඩත්තුව නිසි පරිදි කරන්න.
මුහුදුබඩ මාර්ගය දැඩි අබලන් තත්ත්වයක පවතින්නේ. පීලි මාරු නොකර, වේග සීමා පමණක් යොදාගෙන කරන මෙම කටයුතු නිසා මගී ජීවිත අනතුරට ලක්වන තත්ත්වයක දුම්රිය දෙපාර්තමේන්තුව පවතින්නේ” යැයිද පැවසීය








