සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන්ගේ පරීක්ෂණවල ප්‍රගතිය මැයි 20 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවල ප්‍රගතිය ලබන මැයි මස 20 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

ඉකුත් නඩු වාරයේදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර විසින් කරනු ලැබූ නියෝගයකට අනුව, සැකකාර සුරේෂ් සලේ අද දින අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ගොනු කර තිබෙන නඩුවේ තුන්වන සැකකරු ලෙස සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නම් කර තිබෙනවා.

ඔහු තවදුරටත් රැඳවුම් භාරයේ රඳවා තබා ගැනීමට අධිකරණය නියෝග කළ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.