රාජ්‍ය බැංකු 3ම ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි

මහ­ජන බැංකුව, ලංකා බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඉති­හා­සයේ මෙතෙක් ලැබූ වැඩිම ලාභ 2025 වසරේ වාර්තා කර තිබේ.

මහ­ජන බැංකුව සිය ඉති­හා­සයේ මෙතෙක් ලැබූ වැඩිම ලාභ­යත්, ලංකා බැංකුව වසර 87ක ඉති­හා­සයේ වැඩිම ලාභ­යත්, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සියලු බදු­ව­ලට පෙර බිලි­යන 59ක ඉහ­ළම ලාභ­යත් මේ අනුව 2025 වසරේ වාර්තා කර තිබෙන බව බැංකු සභා­ප­ති­වරු පැව­සූහ.

මහ­ජන බැංකුවේ, ලංකා බැංකුවේ සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 2025 වාර්ෂික වාර්තා ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා වෙත ජනා­ධි­පති කාර්යා­ල­යේදී ඊයේ (20) පස්ව­රුවේ පිළි­ග­න්ව­මින් බැංකු සභා­ප­ති­වරු මේ බව ප්‍රකාශ කළහ.

එහිදී අද­හස් දැක්වූ මහ­ජන බැංකුවේ සභා­පති මහා­චාර්ය නාරද ප්‍රනාන්දු මහතා සඳ­හන් කළේ බැංකුව ලද ලාභය බදු අය කිරී­මට පෙර බිලි­යන 64.4ක් වන අතර බදු අය කිරී­මෙන් පසු බිලි­යන 40ක් බවයි.

මේ අතර ලංකා බැංකුවේ සභා­පති කාවින්ද ද සොයිසා මහතා පෙන්වා දුන්නේ සියලු බදු­ව­ලට පෙර බිලි­යන 120.8ක ලාභ­යක් තම බැංකුව හිමි කර ගත් බවයි. බදු වශ­යෙන් බිලි­යන 77ක මුද­ලක් රජ­යට ගෙවා ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභා­පති ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා මෙහිදී පෙන්වා දුන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව ලාභාංශ ලෙස මහා භාණ්ඩා­ගා­ර­යට බිලි­යන 6ක් ලබාදී ඇති බවය.

රජයේ ප්‍රති­ප­ත්තීන් සමඟ ඉතා සැල­සුම් සහ­ග­තව සහ ඉහළ මූල්‍ය වින­ය­කින් කට­යුතු කිරීම හේතු­වෙන් මෙම ජය­ග්‍ර­හණ ලබා ගැනී­මට හැකි වූ බව මෙහිදී පෙන්වා දුන් බැංකු ප්‍රධා­නීහු ඒ වෙනු­වෙන් කාර්ය මණ්ඩල වෙතින් ලැබුණු සුවි­ශේෂී සහා­යද සිහි­පත් කර සිටි­යහ.