පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුව අදට (21) වසර 07ක් සපිරෙයි. ක්‍රිස්තියානි පල්ලි තුනක් සහ කොළඹ සුඛෝපභෝගී හෝටල් තුනක් ඉලක්ක කර ගනිමින් 2019 වසරේ අප්‍රේල් 21දා සිදු කළ එම ප්‍රහාරයෙන් මියගිය හා වින්දිත භාවයට පත්වූවන් සිහි කරමින් රට පුරා විශේෂ සැමරුම් සහ ආගමික වැඩසටහන් රැසක් අද (21) දිනයේ පැවැත්වේ.
ප්‍රධාන සැමරුම් උත්සවය කොළඹ, කොච්චිකඩේ දේවස්ථානයේදී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සහ ඇන්ටත් රංජිත් රදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, තානාපතිවරුන්, ආගමික නායකයන් සහ වින්දිතයන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වීමට නියමිතය.
අද දිනයේදී දිවයින පුරා සියලුම දෙව්මැදුරු තුළ පෙ.ව. 8.45ට මළවුන්ගේ සීනුව නාදකරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වීමට නියමිත අතර, එය අනුගමනය කරමින් පෙ.ව. 8.47ට ඉටිපන්දම් හෝ පොල්තෙල් පහන් දල්වා වින්දිතයන් සිහිපත් කෙරේ. ඉන් අනතුරුව යාඥා මෙහෙයන් පැවැත්වේ.
එමෙන්ම කටුවාපිටිය දේවස්ථානයේදී ද විශේෂ දිව්‍ය පූජාවන් සහ සැමරුම් වැඩසටහන් පැවැත්වේ.
මීගමුව මාරි ස්ටෙලා ක්‍රීඩාංගණයේදී යාඥා පා ගමන ප.ව. 4.00ට ආරම්භ කෙරෙන අතර, එය කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරු පරිශ්‍රයන් වෙත ගමන් කර අවසන් කෙරේ.
ප්‍රහාරයෙන් වින්දිත වූ සියලු දෙනාට සාධාරණය ඉටු වීම සඳහාත්, සත්‍යය හෙළිදරව් වීම සඳහාත් යාඥා කරමින් අද දිනය යාඥාවේ සහ නිශ්ශබ්ද සිහිවටන දිනයක් ලෙස සලකන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටිති.
2019 වසරේ අප්‍රේල් 21 වැනිදා සිදු වූ පාස්කු ඉරු දින ප්‍රහාරයට වසර 7ක් සපිරෙන මේ අවස්ථාවේ මෙම ඝාතන පිටුපස සිටින සැබෑ පුද්ගලයන් හඳුනාගැනීමට රජය හා ආරක්ෂක අංශ විශ්වසනීය විමර්ශනයක් කරමින් සිටින විට වැරදි මතවාද පතුරවමින් එම විමර්ශනවලට බාධා පැමිණවීමට ඇතැම් පුද්ගලයන් ප්‍රයන්ත දරමින් සිටින බව පෙන්වා දෙන අගරදගුරු හිමිපාණෝ මේ ඛේදවාචකයට පසුබිම් වූ සැබෑව සොයා ගැනීමට සමිඳුන්ගෙන් අයදමින් යාඥා කරන ලෙස කිතුනු ජනතාවගෙන් ඉල්ලා සිටිති.
2019 දී එල්ල වූ මෙම බිහිසුණු ප්‍රහාර මාලාවෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැදුර, කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දෙව්මැදුර සහ මඩකලපුවේ සියෝන් දේවස්ථානය ඇතුළු ස්ථාන කිහිපයක් දැඩි ලෙස හානි වූ අතර, පුද්ගලයන් 269 දෙනකු ජීවිතක්ෂයට පත්වී තවත් පුද්ගලයන් සිය ගණනක් තුවාල ලැබූහ.
නෙරංජලා වික්‍රමසිංහ








