සේරුනුවර, සෝමාවතිය රක්ෂිතය මැදින් ගලා බසින මහවැලි ගඟේ දිය නෑමට ගිය එකම පවුලේ සහෝදරයින් තිදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.
ඊයේ (14) සවස මෙම අනතුර සිදුව ඇති අතර, එලෙස දියේ ගිලී ඇත්තේ, අවුරුදු 24, 34 සහ 35 වයස්වල පසුවන මහින්දපුර ප්රදේශයේ පදිංචි එකම පවුලේ සහෝදරයින් තිදෙනෙකි.
අතුරුදන් වූ සහෝදරයින් තිදෙනා ඔවුන්ගේ පියා සහ තවත් සහෝදරයෙකු සමඟ දිය නාමින් සිටියදී මෙසේ දියේ ගිලී අතුරුදන් වී ඇත.
අතුරුදන් වූ සිරුරු සොයා නාවික හමුදා ජීවිතාරක්ෂක නිලධාරීන් හා සේරුනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන් සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.
මේ අතර හබරාදූවේ දී තවත් පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ සවස හබරාදූව මුහුදු තීරයේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු එලෙස දියේ ගිලී ඇති අතර ප්රදේශවාසීන් විසින් ඔවුන් බේරාගෙන කළුගල රෝහලට ඇතුළත් කරන විටත් ඔවුන් මියගොස් සිට ඇති බවට වෛද්යවරුන් විසින් දන්වා ඇත.
එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 21 සහ 26 යන වියේ පසුවූ කටුනායක ප්රදේශයේ පදිංචිකරුවන්ය.
කටුනායක ප්රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා පැමිණ දිය නාමින් සිටියදී මෙසේ අනතුරට පත්ව ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.
හබරාදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.








