ව්‍යවස්ථාව ගැන කතා කරන්න හිටපු ජනපතිවරුන් පස්දෙනාටම ආරාධනා

මහින්ද රාජපක්ෂ , රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මෛත්‍රීපාල සිරසේන, ගෝඨාභය රාජපක්ෂ යන හිටපු ජනාධිපතිවරුන්ට සහ වර්තමාන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට හෙට(03) පැවැත්වෙන විශේෂ උත්සවයකට ආරාධනා කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ අරමුණින් ‘OneText’ ආයතනය විසින් මෙහෙයවනු ලබන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සංවාද ක්‍රියාවලිය දියත් කිරීමේ විශේෂ සමාරම්භක උළෙල හෙට සවස 4:00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත අතර එම සමාරම්භක උත්සවය සඳහා මෙම හිටපු ජනාධිපතිවරුන්ට සහ අගමැතිනියට ආරාධනා කර ඇති බවයි ‘OneText’ ආයතනය ප්‍රකාශ කරන්නේ.

ඉකුත් දශක කිහිපයේ ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලනයේ දැඩිව කථා බහට ලක්වුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡාව ප්‍රායෝගික තලයට ගෙන එමින් විද්වත් මත විමසුමක් හෙට දින පස්වරු 4.00ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශලාවේ ඕකිඩ් පරිශ්‍රයේදී
පැවැත්වෙනවා.

මෙම විද්වත් සංවාදයේ ප්‍රධාන දෙසුම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති අංශයේ හිටපු ප්‍රධානී මහාචාර්ය දීපිකා උඩගම විසින් පැවැත්වීමට නියමිතයි.

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ආචාර්ය කුමාර් වඩිවේල් ගුරුපරන්, ආචාර්ය රමේෂ් රාමසාමි , හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිසාම් කාරි‍යප්පර් විසින් මෙහි සෙසු දෙසුම් පවත්වනු ලබනවා.

හෙට ආරම්භ වන මෙම වැඩසටහන අදියර කිහිපයක් යටතේ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අඛණ්ඩවම සිදුකිරීමටද One Text ආයතනය සැලසුම් කර තිබෙනවා.

One Text ආයතනය වර්ෂ 2003 සිට මෙරට ක්‍රියාත්මක ආයතනයක්.

මෙරට ප්‍රතිපත්ති සම්පාදනය සඳහා අවශ්‍ය අධ්‍යයන සහ පර්යේෂණ සිදු කිරීම, ජාතික වශයෙන් වැදගත් කරුණු සඳහා දේශපාලන පක්ෂ අතර එකඟතාවය ගොඩනැගීම වැනි කරුණු සඳහා දායක වන බව එම ආයතනය සඳහන් කරනවා.