රුපියල් 5,000 ක් අල්ලස් වශයෙන් ඉල්ලූ පොලිස් කොස්තාපල්වරයෙක් හා සැරයන්වරයෙක් අත්අඩංගුවට

රුපියල් 5,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලූ පොලිස් කොස්තාපල්වරයෙක් සහ පොලිස් සැරයන්වරයෙක් ඊයේ (11) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්තනකඩවල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව දියබෙදුම පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ සේවය කරමින් සිටි නිලධාරීන් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ පැමිණිලිකරු විසින් ඔහුට අයත් යතුරුපැදියෙන් පසුගිය දෙසැම්බර් 09 වැනිදා ගමන් කරමින් සිටිය දී, එම යතුරුපැදිය අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා නවතා පරීක්ෂා කර ඇති අතර, එහි දී වලංගු රියැදුරු බලපත්‍රයක් හා ආදායම් බලපත්‍රයක් නොමැතිව මෙන්ම බීමත්ව ධාවනය කිරීමක් ඔවුන්ට අනාවරණය වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් නීති මඟින් කටයුතු නොකර පැමිණිලිකරුගේ යතුරුපැදියේ රක්ෂණ සහතිකය සහ කල් ඉකුත් වූ ආදායම් බලපත්‍රය සැකකාර පොලිස් නිලධාරීන්ගේ භාරයට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

පසුව, බලපත්‍ර දෙක ආපසු ලබාදීම සඳහා රු. 5,000 ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඇති බවත්, ඒ අනුව එම මුදල දියබෙදුම සතිපොළ ඉදිරිපිට දී ලබාදීමේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.