ශ්රී ලංකා රේගුව විසින් රඳවා ගෙන සිටින, කාණ්ඩ කිහිපයකට අයත් BYD වාහන තොගයක්, බැංකු ඇපකර සහ සමාගම් ඇපකර මත මුදා හැරීමට ශ්රී ලංකා රේගුව අද අභියාචනාධිකරණය හමුවේ එකඟතාව පළ කර තිබෙනවා.
ශ්රී ලංකා රේගුව විසින් රඳවා ගෙන සිටින අදාළ වාහන මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම වාහන ආනයනය කළ ජෝන් කීල්ස් CG පුද්ගලික සමාගම විසින් ගොනු කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ශ්රී ලංකා රේගුව විසින් මෙම එකඟතාව පළ කර ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව, රේගුව භාරයේ රඳවා සිටි BYD ඔටෝ ප්රිමියම් කිලෝවොට් 70, ඔටෝ ඩයිනමික් කිලෝවොට් 45, ඔටෝ ප්රිමියම් කිලෝවොට් 45, ඩොල්ෆින් ඩයිනමික් කිලෝවොට් 70 යනාදී කාණ්ඩවලට අයත් වාහන 625 ක් බැංකු ඇපකර හා සමාගම් ඇපකර මත මුදා හැරීමට එකඟ වන බවයි ශ්රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණයට දැනුම් දුන්නේ.
ශ්රී ලංකා රේගුව විසින් ඉදිරිපත් කළ එම යෝජනාවට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමිල් එකඟතාව පළ කළ අතර, ඉන් අනතුරුව මෙම වාහන මුදා හැරීමට අදාළ නියෝග නිකුත් කෙරුණා.








