ලංකාවේ වායු ගුණය අයහපත් මට්ටමට

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක වාතයේ ගුණාත්මකභාවය අයහපත් මට්ටමට පත්ව ඇතැයි වාර්තා වෙනවා.

මෙය අයහපත් සසෞඛ්‍ය මට්ටමකට (Unhealthy) පහත වැටී ඇති බවයි වායු ගුණාත්මක දර්ශකයේ (AQI) කාලීන දත්ත වාර්තා පෙන්වා දෙන්නේ.

මේ අනූව වායු ගුණාත්මකභාවය පිරිහී ඇති ප්‍රදේශ අතර, කදුරුවෙල, හලාවත, අකරගම, වඳුරගල, දිගන, මාදම්පාගම, හුංගම, අක්කරපත්තු, කලවාන, මුල්ලියාවේලි, පන්නන්කණ්ඩි, ආදම්පන්, සහ උප්පුවේලි, යාපනය සහ කොළඹ ප්‍රදේශ දක්වා තිබෙනවා.

වායු ගුණාත්මක දර්ශක වාර්තා අනුව, මෙම ප්‍රදේශවල ඇති දූෂක මට්ටම් ඉහළ ගොස් ඇති අතර, දීර්ඝ කාලයක් මෙම වාතයට නිරාවරණය වීම මත දරුවන් හා වැඩිහිටියන් අතර මෙන්ම ස්වසන හෝ හෘද රෝග ඇති පුද්ගලයන්ට අවදානම් සෞඛ්‍යය තර්ජනයක් විය හැකි බව පෙන්වා දෙනවා.

එබැවින් අනුගමනය කළ යුතු නිර්දේශිත ක්‍රියාමාර්ග සඳහන්.

එළිමහන් ව්‍යායාම අඩු කිරීම හෝ සීමා කිරීම, පිටත ඇති අපිරිසිදු වාතය නිවසට ඇතුළු වීම වැළැක්වීම සඳහා ජනෙල් වසා තැබීම, ආවරණ (Mask) පැළඳීම (විශේෂයෙන් සංවේදී කණ්ඩායම් සඳහා) එළිමහනේ ගමන් කිරීමේදී අනිවාර්ය බව සඳහන්.

මේ අතර, ඉන්දියාවේ නවදිල්ලිය පසුගිය සති අන්තයේ සිට ඝන දුමාර ස්ථරයකින් වැසී ගොස් ඇති අතර, වාතය තීව්‍ර ගන්ධයකින් යුක්ත බව වාර්තා වනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුව, එය “දරුණු” සහ ආශ්වාස කිරීමට අනතුරුදායක මට්ටමකට ළඟා වී තිබෙන බවයි සඳහන්.

ඒ අනූව අද සඳුදා උදෑසන වන විට නවදිල්ලියේ වායු ගුණාත්මක දර්ශක අගය 344 ක් ලෙස වාර්තා වී තිබෙනවා.