දිල්ලි අගනුවර පිපිරීමෙන් මියගිය ගණන 09 දක්වා ඉහළට

ඉන්දියාවේ නව දිල්ලි අගනුවර ඊයේ රාත්‍රියේ සිදු වූ දැවැන්ත පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 9 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ, පිපිරීම හේතුවෙන් නවදිල්ලිය, මහාරාෂ්ට්‍ර, මුම්බායි, උත්‍තර් ප්‍රදේශ් සහ රාජස්ථාන් ප්‍රාන්තවල අධි ආරක්ෂිත තත්ත්වයක් පවා ප්‍රකාශයට පත්කර ඇති බවයි.

ඉන්දියාවේ නව දිල්ලි අගනුවර ඓතිහාසික ප්‍රදේශයක් වන රතු කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ මෙම ප්‍රබල පිපිරීම සිදුවුණා.

රතු කොටුව මෙට්‍රෝ දුම්රිය ස්ථානය ආසන්නයේ ගේට්ටුවක් අසල නවතා තිබූ මෝටර් රථයක මෙම අධි තීව‍්‍රතාවයෙන් යුත් පිපිරීම සිදුව ඇති බව දිල්ලි පොලිසිය සඳහන් කළේ.

පිපිරීමේ බලපෑමෙන් අවට නවතා තිබූ තවත් වාහන 22ක් පමණ ගිනි ගෙන විනාශ වී තිබූ අතර සිද්ධියෙන් 20 දෙනෙකු තුවාල ලැබුවා.

ගිනි නිවන රථ 20ක් පමණ යොදවා ගින්න පාලනය කර ඇති අතර, දිල්ලි පොලිසියේ විශේෂ ඒකක සහ ත්‍රස්ත විරෝධී ඒකක අදාළ ස්ථානයට පැමිණ විමර්ශන කටයුතු අරඹා තිබෙනවා.

නගරය පුරා පොදු ස්ථානවල සහ ප්‍රවාහන මධ්‍යස්ථානවල ආරක්ෂාව දැඩි කරමින් ඉහළම අවදානම් තත්ත්වය ප්‍රකාශයට පත් කර ඇත්තේ ඉදිරි ප්‍රහාර හෝ අස්ථාවරත්වයන් වළක්වා ගැනීමටයි.

පිපිරීමේ අධි තීව‍්‍රතාව සහ අගනුවර සංවේදී ස්ථානයක් ඉලක්ක කර ගැනීම හේතුවෙන්, මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් විය හැකි බවට විමර්ශන අංශ සැක පළ කරන අතර පිපිරීම සඳහා අධි බලැති පුපුරණ ද්‍රව්‍යයක් භාවිත කර ඇත්දැයි විමර්ශන ක්‍රියාත්මකයි.

මෙම පිපිරීමෙන් අනතුරුව ඉන්දු නේපාල දේශ සීමාවේ ආරක්ෂාව තර කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇති අතර, නේපාලයේ සිට ඉන්දියාවට පැමිණෙන සංචාකරයින් දැඩි පරීක්ෂාවට ලක් කිරීමටයි වැඩිදුරටත් පියවර ගෙන ඇත්තේ.

මේ අතර දිල්ලි ප්‍රදේශයේ නිවසක ඊයේ සිදුකළ වැටලීමකදී එහි සගවා තිබූ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 2,500ක් පමණ එරට ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබුණා.

පසුව අනාවරණ වී ඇත්තේ මෙම නිවසේ කුලී පදනම මත නවාතැන්ගෙන සිට ඇත්තේ, ජම්මු කාශ්මීරයේ පුල්වාමා හි පදිංචි වෛද්‍යවරයකු වන මුජම්මිල් ෂකීල් යැයි ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

මොහු පාකිස්තානයට සහාය දක්වන ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායමක සාමාජිකයකු යැයි ද සැක කෙරෙන බවයි ඉන්දිය ආරක්ෂක අංශ පවසන්නේ.

මුජම්මිල් ෂකීල්ට අමතරව, තවත් වෛද්‍යවරයකු ද අත්අඩංගුවට ගත් බව ද සඳහන්.

දිල්ලියේ පිපිරීම සිදුවූයේ කුලී නිවසේ වැටලීම හා ඊට අදාළ විමර්ශන පැවැත්වෙන අතරතුරයි.

මේ අතර නවදිල්ලි අගනුවර රතු කොටුව ආශ්‍රිත මෝටර් රථ බෝම්බ පිපිරීම සැලසුණු සැණින් තමන් මහත් සේ කම්පනයට පත්වූ බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් පවසා තිබෙනවා.

ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා, පිපිරීම සිදුවුණු ස්ථානයට පැමිණි පොලිස් ප්‍රධානීන් හමුවී සිද්ධිය සම්බන්ධයෙන් විමසා ඇති අතර, පසුව ඔහු එසැණින් දුරකතන ඇමතුම් ලබාදෙමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ඒ සම්බන්ධයෙන් පැවසූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.