මහනුවර අවසන් රන්දෝලි මහ පෙරහර අද

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහපෙරහර අද (08) වීදී සංචාරය කරයි. පෙරහර මංගල්‍යයේ සමාප්ති උත්සවය ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (09) මහනුවර ජනපති මන්දිරයේදී පැවැත්වෙයි.

ශ්‍රී දළදා මාලිගාව අබියසින් අද (08) උතුරු දිශාභිමුඛව රාත්‍රී 6.51ට ගමන් ආරම්භ කර පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදියෙන් ඉහළටවිත් ගෙවැදීමට නියමිතය.

අනතුරුව ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර අලුයම 1.18ට උතුරු දිශාභිමුඛව සිවු මහා දේවාල පෙරහර සමඟ දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ආදාහන මළුව ගෙඩිගේ විහාරස්ථානය දක්වා පැමිණ සිරිත් පිරිදි සධාතුක කරඬුව එහි තැන්පත් කරයි.

නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිවු මහාදේවාල පෙරහර ගැටඹේ දියකපනා තොට වෙත ගොස් හෙට (09) අලුයම් කාලයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කරයි.

පසුව සතර මහා දේවාල පෙරහර ගණදෙවි කෝවිල කරා පැමිණෙයි. ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර ආදාහන මළුව ගෙඩිගේ විහාරස්ථානයෙන් පස්වරු 2.16ට ගමන් ආරම්භ කර ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් ගනිත්දී පුල්ලයාර් කෝවිලේ සිට පැමිණෙන සතර මහාදේවාල පෙරහර නගර සභා මංසන්ධියේ දී ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර හා එක්වෙයි.

ඩී.එස් සේනානායක වීදිය ඔස්සේ ගමන් ගන්නා පෙරහර රජ වීදියෙන් ඉහළටවිත් මාලිගා චතුරස්‍රයේ තෙවිටක් ප්‍රදක්ෂිණා කොට ගෙවැදීමට නියමිතය.

පසුව හෙට (09) දවල් පෙරහර ගෙවැදීමෙන් පසු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සිවු මහාදේවාල හා පිටිසර දේවාල බස්නායක නිලමේවරු සමඟ පෙරහරින් මහනුවර ජනපති මන්දිරය වෙත ගොස් පෞරාණික චාරිත්‍ර ගරු කරමින් මෙවර ඇසළ පෙරහර සාර්ථකව පවත්වා අවසන් කළ බව දැක්වෙන පෙරහර සංදේශය ජනපතිවරයා වෙත පිළිගැන්වීමෙන් පසු මෙවර මහනුවර ඇසළ පෙරහර නිමාවට පත්වෙයි.

අනතුරුව මෙවර පෙරහරට ශ්‍රී දළදා මාලිගාව හා සතර මහා දේවාල නියෝජනය කරමින් පෙරහරට සහභාගි වී විශිෂ්ට හා අතිවිශිෂ්ට දක්ෂතා දැක්වූ කලාකරුවන්ට ජනපතිවරයා අතින් මුදල් ත්‍යාග හා සහතික පත් ප්‍රදානය කෙරෙයි.