ගාල්ල බන්ධනාගාරයට උඩින් විසි කළ තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට

ගාල්ල බන්ධනාගාරය තුළට ඊයේ (05) පෙරවරුවේ විසිකරන ලද තහනම් ද්‍රව්‍ය පාර්සලයක් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බන්ධනාගාර ආරක්ෂිත තාප්පයට ආසන්නයේ පිහිටි මුර අට්ටාල දෙක අසලින්, බන්ධනාගාරය තුළ පිහිටි මුළුතැන්ගෙය පිටුපස සිරකරුවන් ස්නානය කරන ජල ටැංකි පිහිටි ස්ථානයට, පිටතින් පැමිණි නොදන්නා පුද්ගලයෙකු විසින් මෙම පාර්සලය විසි කර ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් පාර්සලය තුළ, මත්පැන් යැයි සැක කළ හැකි දියර සහිත බෝතල් 03ක් සහ දුරකථන චාජරයක් තිබී හමුවී තිබෙනවා.

මෙම අත්අඩංගුවට ගත් ද්‍රව්‍ය ගාල්ල බන්ධනාගාර ජේලර්වරයෙකුගේ අධීක්ෂණය යටතේ විනාශ කිරීමට කටයුතු කර ඇති අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ජගත් වීරසිංහ සඳහන් කළා.