සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්රයේ වැදගත්ම ලක්ෂණය ජනතාවගේ බිඳවැටුණු විශ්වාසය නැවත දිනා ගැනීමට කටයුතු කිරීම බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස සිය ධුරයේ වැඩ ආරම්භ කරමින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
වසර 5කට පසු සෞඛ්‍ය අමාත්‍යාංශයට නැවත පැමිණීමට ලැබීම පිළිබඳව තමන් සතුටට පත්වන බවත්, විශ්වාසය යනු ඇතැම් පුද්ගලයන් ළඟ ඇති, සමහරු ළඟ නැති ඉතා දුර්ලභ මැණිකක් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ද සහභාගීත්වය ඇතිව ඊයේ (11) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිය රාජකාරී කටයුතු ආරම්භ කිරීමෙන් පසු පැමිණ සිටි නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය අමතමින් නව ලේකම්වරයා මේ බව පැවසීය.
ජනතා විශ්වාසය දිනා ගනිමින් ආර්ථික ගැටලුවට මුහුණ දී සිටින ජනයාට සාධාරණ මනුෂ්‍යත්වයෙන් හෙබි සේවාවක් රටේ ස්ථාපිත කිරීමට වත්මන් සෞඛ්‍ය ජනමාධ්‍ය ඇමැතිගේ මඟපෙන්වීම, උනන්දුව සහ දැක්ම අනුව කටයුතු කරන බව ද ඒ මහතා පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ, පළපුරුදු නිලධාරීන් සමඟ ජනතාව බලාපොරොත්තු වන වෙනස ඇති කරමින්, අධිෂ්ඨානශීලිව රට ඉදිරි සංවර්ධනය කරා ගෙනයෑමේ වැඩපිළිවෙළේ පංගුකාරයන් වීමේ වාසනාව සියලුදෙනාට හිමිව තිබෙන්නේ යැයි ද ඔහු ප්‍රකාශ කළේය.
නව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ලේකම්වරයා වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍ර දෙකේම දැවැන්ත අභියෝග පවතින බවයි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්රවල විශ්වාසය තහවුරු කිරීම සියලුදෙනාගේ කාර්යභාරය බව ද, කරගෙන යන වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙනයෑමට සහ නව වැඩ කටයුතු කිහිපයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අතර නව ලේකම්වරයාගේ අත්දැකීම් ද සමඟ එක පවුලක් ලෙස ඉදිරියට කටයුතු කරන බව ද ඇමැතිවරයා පැවසීය. ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් සිය ධුරයේ වැඩ භාරගත් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට පැමිණ සිටි නිලධාරීන් හා කාර්ය මණ්ඩලය සුබ පැතුම් එක් කළ අතර, නව ලේකම්වරයා ඔවුන් සමඟ සුහද කතාබහක නිරත විය.
විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මින් පෙර ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කළ අතර, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ධුරයේ ද, පරිසර අමාත්‍යාංශයේ ලේකම් ධුරයේ ද කටයුතු කර ඇත. මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයට විශාල සේවාවක් සිදු කළ ඒ මහතා කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් ලෙස කටයුතු කළ අතිරේක ලේකම් (පාලන) වත්සලා ප්‍රියදර්ශනී, අතිරේක ලේකම්වරුන්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරුන්, අධ්යක්ෂවරුන්, රෝහල් හා සෞඛ්‍ය ආයතන නියෝජනය කරමින් අධ්යක්ෂවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.








