අමෙරිකානු ඩොලර් මිලියන 125ක මූල්‍ය ආධාර මත ශ්‍රී ලංකාවේ පළාත් 06ක දිස්ත්‍රික් 11ක ක්‍රියාත්මක වන දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය මෙතෙක් අත්කරගත් ප්‍රගතිය නිරීක්ෂණය සඳහා ලෝක බැංකුවේ විශේෂ නියෝජිත පිරිසක් පසුගියදා සංචාරයක නිරත විය.
එහිදී ලෝක බැංකුව නියෝජනය කරමින්, කාර්ය කණ්ඩායම් නායක (TTL) සහ දූත මණ්ඩල නායක ආචාර්ය ෂෙවු සලාවු මහතා සමඟ උපදේශකවරුන් වන එස්. මනෝහරන් සහ මහාචාර්ය වී.කේ. රවිචන්ද්‍රන් මහත්වරු දකුණ, ඌව සහ නැඟෙනගිර පළාත්වල සංචාරයක නිරත වූ අතර ඔවුහු එම ප්‍රදේශවල ගොවි ජනතාව සමඟ ද සුහද පිළිසඳරක නිරත වූහ.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන මේ ව්‍යාපෘතියෙන් ප්‍රතිසංස්කරණය කරන ලද වැව්, පිට වාන්, ක්ෂේත්‍ර ඇළ මාර්ග, වාන් දොරටු, වගා ළිං සහ විදුලි වැටවල් ඉදිකිරීම්, ක්ෂුද්‍ර වාරි පද්ධති, කෘමින්ගෙන් වගාව ආරක්ෂා කරන දැල් සහ සූර්ය කෝෂ භාවිතයෙන් ජල පොම්ප ලබාදීම් මෙන්ම වගා ක්ෂේත්‍ර, අගය එකතු කළ නිෂ්පාදන අලෙවි කරන ගොවීන් සහ එල්ලංගා කළමනාකරණ කමිටු රැස්වීම් දැක ගැනීමට ලෝක බැංකුව නියෝජිතයන්ට හැකිවිය. සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට සහ ලෝක බැංකුවේ මූල්‍ය ආධාරවලින් උපරිම ප්‍රයෝජනයක් ගන්නේද යන්නත් මේ ලෝක බැංකු කණ්ඩායම සොයා බලයි. මේ සංචාරයට සමගාමීව ලෝක බැංකුවේ තවත් කණ්ඩායමක් උතුරු සහ උතුරුමැද පළාත්වලද දේශගුණික සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතියේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමේ කටයුතුවල නිරත වූහ.








